යූනිස් ඛාන්ට ටෙස්ට් ලකුණු දසදහසක් | දිනමිණ

යූනිස් ඛාන්ට ටෙස්ට් ලකුණු දසදහසක්

 ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු දසදහසේ සීමාව පසුකළ පළමු පාකිස්තානු පිතිකරු ලෙසත්, එම දස්කම පෑ ලොව 13 වැනි පිතිකරු ලෙසත් වාර්තාපොතට එක්වීමට යූනිස් ඛාන් සමත්වෙයි.

ජැමෙයිකාවේ කිංග්ස්ටන් හී බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ පෙරේදා ඔහු මේ කඩඉම පසු කරමින් ලකුණු 58ක් ලබා ගත්තේය.

ඉනිම ආරම්භ කරන විට මේ ස්වර්ණමය වාර්තාවට ලකුණු 23ක් අඩුවී සිටි යූනිස් ඉනිම ආරම්භ කිරීමට මිනිත්තු 47ක් වැය කළ අතර ලකුණු 22ක් ලබා සිටියදී සිය කඩඉම වෙත අවතීර්ණවීමට තවත් පන්දු 84ක්ම වැය කිරීම කැපී පෙනුණි. කෙසේවෙතත් අවසානයේදී රොස්ටන් චේස්ගේ පන්දුවකට හතරේ පහරක් එල්ල කරමින් ඔහු සිය වාර්තාව තැබුවේය.

වසර 2000දී ටෙස්ට් වරම් ලැබූ යූනිස් ඛාන් ලකුණු දසදහසේ වාර්තාවට හිමිකම් කීවේ සිය 208 වැනි ඉනිමේදීය.

ඊට පෙර සචින් තෙන්ඩුල්කර්, රිකී පොන්ටින්, කුමාර් සංගක්කාර, ජැක් කලීස්, රාහුල් ඩ්‍රාවිඩ්, බ්‍රයන් ලාරා, මහේල ජයවර්ධන, ඇලන් බෝඩර්, සුනිල් ගවස්කර්, ඇලෙස්ටෙයාර් කුක්, ශිවනාරින් චන්දර්පෝල් සහ ස්ටීව් වෝ ටෙස්ට් ලකුණු දසදහසේ සීමාව පසු කිරීමට සමත්වූහ.

නව අදහස දක්වන්න