දේශපාලන වෙනස! | දිනමිණ

දේශපාලන වෙනස!

 ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුය යන සංවාදය පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. සංවාදයකට සීමා වී තිබූ මේ අදහස මෑතක දී ක්‍රියාකාරී වැඩසටහනක් බවට පත් විය. මෙහි ලා ප්‍රමුඛත්වය ගත්තේ සිවිල් සංවිධාන බව අවිවාදයෙන් පිළිගත යුතුය. මාර්තු 12 ව්‍යාපාරය එය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යයි. එහි තවත් ප්‍රතිඵලයක් පසුගිය දා දැකගන්නට ලැබිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයෝ රැසක් මාර්තු 12 ව්‍යාපාරය සමඟ එක්වෙමින් දූෂණයෙන් හා භීෂණයෙන් තොර මැතිවරණ පැවැත්වීමට එකඟතාව පළ කර සිටිති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය යන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ අයුරින් මාර්තු-12 ව්‍යාපාරය සමඟ එක් වූහ. ඉදිරියේ දී අනෙකුත් දේශපාලන පක්ෂ ද මේ මතයට ගරු කරමින් මාර්තු-12 ව්‍යාපාරය සමඟ එක් වනු ඇතැ’යි සිතන්නට පුළුවන. මෙය රටේ ජනතාව ලබන දේශපාලන ජයග්‍රහණයක් හැටියට සලකන්නට පුළුවන. පිරිසුදු හා නිදහස් මැතිවරණ මේ මගින් පැවැත්විය හැකි ය. ගැටුම් අවම කරගත හැකි අතර පරිසරය ද සුරැකෙනු ඇත. දැනට ඡන්ද පැවැත්වෙන්නේ මේ සියල්ල විනාශ මුඛයට යවමින් ය. එවැන්නක් වළක්වා ගත හැකි නම්; එය ජාතික මට්ටමේ ජයග්‍රහණයක් බව කිව යුතු ය.

රත්නපුර සමුළුවේ විශේෂතා තුනක් දක්නට ලැබිණි. පළමුවන්න නම්; ආගමික නායකයන් වැඩසටහනේ තීරකයන් ලෙස පෙනී සිටීම ය. දෙවන්න; පුරවැසි සංවිධාන වැඩසටහනට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම ය. තෙවන්න සමුළුවට සහභාගී වූ සියලු පක්ෂ විවාදයකින් තොරව අවශ්‍ය වගන්ති පිළිගැනීම ය. ආගමික නායකයන් ඉදිරියේ මේ සියල්ල සිදුවීම ඉතා වැදගත් ය. මේ නිසා දේශපාලකයන්ට තමන්ගේ පොරොන්දු කැඩීමට ඉඩකඩක් ලැබෙන්නේ නැත. දේශපාලකයන් අවංක උත්සාහයක් දරන්නේ නම්; පවතින දේශපාලන සංස්කෘතිය පහසුවෙන් ම වෙනස් කළ හැකි ය.

අප මීට පෙර අත්දුටුවේ දූෂිතයන් ඉහළ ම දේශපාලන තනතුරු සඳහා යවන දේශපාලන ක්‍රමයකි. මුදල් බලය, දේශපාලන බලය, පිරිස් බලය, මැර බලය ජයග්‍රහණය සඳහා අවශ්‍ය විය. ඡන්ද කඩා ගැනීම සඳහා, සිල් රෙදි, ඔර‍ලෝසු, ටී ෂර්ට්, ටකරන් ආදිය බෙදන දේශපාලන සංස්කෘතියක් අපට තිබිණි. ඒ සඳහා අනුමැතිය ලැබුණේ රටේ නායකයන්ගෙනි. ඒ සඳහා මුදල් යෙදවුණේ රාජ්‍ය ආයතන වෙතින් ය. එහි යටි අරුත වන්නේ මැතිවරණ ජයග්‍රහණය සඳහා මහජනයාගේ ම මුදල් යොදවා ගැනීම ය. මෙය හැඳින්විය හැක්කේ තමිල්නාඩු දේශපාලනය ලෙස ය. එහි ද මැතිවරණ සඳහා වර්ණ රූපවාහිනී බෙදා දුන් කාලයක් තිබිණි.

දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි එක ක්‍රමයක් වන්නේ පිළිගත හැකි අවංක මහජන නියෝජිතයන් පත් කර ගැනීම ය. ඒ සඳහා සාධක දෙකක් ජය ගත යුතු යැයි කිව හැකිය. එක; දේශපාලන පක්ෂ උගත් - බුද්ධිමත් පුද්ගලයන් මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීම ය. දෙක; දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ය. මෙහි එන පළමුවන සාධකය දැනටත් ජයගත හැකි ය. ඒ සඳහා පක්ෂ නායකයන් මෙන්ම ඡන්දදායකයන් ද කැපවීමක් කළ යුතුය. ගියවර මැතිවරණය සඳහා පුරවැසි සංවිධාන විසින් එබඳු ප්‍රතිඥාවක් සකස් කරන ලදි. එහෙත් එය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත.

දේශපාලනය මුදල් හරිහම්බ කර ගැනීමේ ව්‍යාපාරයක් ලෙස ද, බලය ස්ථාපිත කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස ද පවතී. එය වෙනස් කිරීම සඳහා දේශපාලන පක්ෂ හා එම පක්ෂවල නායකයන් අවංක උත්සාහයක් දරා නැත. ඇතැම්විට මහජනයා පවා ඒ සම්බන්ධයෙන් ප්‍රබල බලපෑමක් සිදු කර නැත. පවතින ක්‍රමය අනුගත වීම බොහෝ දෙනා විසින් සිදු කරනු ලැබ තිබේ. එහි ප්‍රතිඵලය භයානක බව දැන්වත් පිළිගත යුතු ය. මේ කාලය දේශපාලන වෙනසකට හොඳම කාලය ලෙස ද සැලැකිය හැකි ය. එක අතෙකින් පුරවැසි සංවිධාන ඒ සඳහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. තව අතෙකින් මහජනයා තුළ ද දේශපාලන සංස්කෘතියේ වෙනසකට උනන්දුවක් තිබේ.

පරණ අත්දැකීමට අනුව මැතිවරණයක් අවසන් වූ කල දකින්නට ලැබෙන්නේ කුමක් ද? මරණ කිහිපයක් , ගැටුම් ගණනාවක්, දේපොළ විනාශය පිළිබඳ සිදුවීම් ගණනාවක්, පළිගැනීම් හා පාරිසරික විනාශ ඒ අතර පවතී. විශාල පර්වත, තාප්ප ආදියෙහි ලියන ලද මනාප අංක වසර ගණනාවක් යන තුරු එලෙස ම පවතී. කටවුට් -බැනර් හා වෙනත් ප්‍රචාරක කටයුතු සඳහා යන වියදම සිතා ගන්නට බැරි තරම් ය. ප්‍රචාරය සඳහා එකිනෙක නියෝජිතයන් අතර පවතින්නේ මාරාන්තික තරගයකි. මේ තරගය නිසා එක ම පක්ෂයේ අය ද ගහ ගනිති. මරා ගනිති. ඒවා කෙතරම් නිෂ්ප්‍රයෝජන දේවල් ද යන්න පක්ෂ නායකයන් පවා වටහා ගන්නේ නැත.

පවත්නා ක්‍රමය යටතේ මැතිවරණ ජයග්‍රහණ සැමරීමට පවා විශාල මුදලක් වැය කරති. මහජන සුබසාධනයට නැති මුදල් මැතිවරණ ජයග්‍රහණ සැමරීම සඳහා යොදා ගැනේ. විශාල වශයෙන් සිදු වන නාස්තිය හා දූෂණය අපේ රටට ඔරොත්තු දෙන්නේ නැත. මෙතෙක් කාලයක් ඡන්ද ප්‍රචාරණය සඳහා වැය කළ මුදල් ගණනය කළහොත්; ඒවායින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ස්ථාපිත කිරීමට ඉඩ තිබිණි. එහෙත් බලය ගැන පමණක් කල්පනා කරන දේශපාලකයන් මේවා ගැන ගැඹුරට කල්පනා කරන්නේ නැත.

රත්නපුර සමුළුවේ දී තවත් විශේෂයක් දකින්නට ලැබිණි. එනම්; දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පක්ෂ නියෝජිතයන් එකඟතාව පළ කිරීම ය. මෙය අවශ්‍යයෙන් ම සිදුවිය යුත්තකි. පළාත් පාලන ඡන්දයේදී ද එය සිදුවිය යුතු බව දැනට ම ප්‍රකාශයට පත් වී ඇත. ජනගහනයේ ප්‍රතිශතය හා කාන්තාව්නගේ සංවර්ධන දායකත්වය සැලැකිල්ලට ගන්නා විට ද දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි විය යුතු බව පිළිගත යුතු ය. රත්නපුරයේ සමුළුව ආදර්ශයක් හෝ නියාමනයක් හෝ ලෙස ගනිමින් මුළු රට පුරා ම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එය සාධනීය දේශපාලන වෙනසකට මග පාදනු ඇත.

මැතිවරණ කල් දැමීමක් ගැන ද විවේචන එල්ල වෙමින් පවතී. දැනට පවතින තත්ත්වයට අනුව මේ වසර තුළ මැතිවරණ කිහිපයක් පවත්වන්නට ඉඩ තිබේ. ඒවා සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ දායකත්වය ලැබෙන්නේ නම් එය වැදගත් ය. 

නව අදහස දක්වන්න