රට­වල් 100ක ව්‍යාප්ත වූ ලංකාවේ Power world Gim | දිනමිණ

රට­වල් 100ක ව්‍යාප්ත වූ ලංකාවේ Power world Gim

නන්ද ඒක­නා­යක  
 

කුඩා කාලයේ පටන්ම ක්‍රීඩාවට ලැදියාවක් දැක් වූ තලවෝ අලයිලීමා සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටියදීම තම ක්‍රීඩා කෞෂල්‍ය වඩාත් ශක්තිමත් තත්ත්වයකින් පවත්වාගෙන යාමට ශාරීරික අභ්‍යාස කරන්නට පටන්ගත්තේය.

කවපෙත්ත, යගුලිය හා වයස 19න් පහළ දුර ධාවන ක්‍රීඩාවන්හි යෙදුණ ඔහු වරෙක ශ්‍රී ලංකා වාර්තාවද කැඩීමට ද දස්කම් දැක් වූ බව පසුගිය අතීතය සිහිපත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

පාසල් කාලයේ පටන්ම ඔහු ශාරිරික වර්ධනය සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වා ඇත.

වැඩිදුර අධ්‍යාපනය සඳහා අමෙරිකාවට ගිය ඔහු එහිදී යගුලිය විසිකිරීමේ ඉසව්වට දැඩි උනන්දුවක් දක්වමින් සිටියා. එහිදී ඔහු ශාරීරික අභ්‍යාස නිවැරැදිව කිරීම සඳහා එහි ඇති ව්‍යායාම මධ්‍යස්ථාන (ජිම්) පිළිබඳව උනන්දුවක් දක්වන්නට පටන්ගත්තා. ඔහු අමෙරිකාවේ ඇති එවැනි මධ්‍යස්ථානවලට සම්බන්ධ වී තමන්ගේ ශරීරය අවශ්‍ය විදියට සකස් කරගන්න පටන්ගත්තේය. ඔහු තම ඉදිරිය පිළිබඳව මෙසේ ප්‍රකාශ කළා. 'ජිම් රටාව ලංකාවට අලුත් දෙයක් බැවින් ලංකාවට පැමිණ ජිම් එකක් ආරම්භ කිරීමේ අදහසක් මට ඇතිවුණා. එහෙත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් මා තේරුම් ගත්තා.

කෙසේ වෙතත් මගේ උත්සාහය අතහැරියේ නැහැ. මගේ අදහස මගේ අම්මාට කීවා. අම්මා උදව් කරන්නම් කීවා. ඇය සැලසුම් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක්. නම Dr. Pat Alliema. 1994 ඔක්තෝබර් මාසයේදී කිරිල්ලපොතදී ප්‍රථම ජිම් එක පටන් ගත්තා. එතකොට මට වයස අවුරුදු 23යි. පළවෙනි ජිම් එකට කෝටියක් වැය වුණා. N.D.B. Bank එක මඟින් ණය ලබාගත්තා. අපේ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් පවා මගේ ජිම් එකේ පුහුණුව ලැබුවා. තරුණයින් ජිම් එකට පැමිණීමේ වර්ධනයක් සිදුවන බව මට තේරුම් ගියා.

1996 වසරේ වර්ල්ඩ්කප් එකෙන් ජයගත් සනත් පවා මගේ ජිම් එකේ පුහුණුව ලැබූ කෙනෙක්. මගේ ජිම් එකේ පුහුණුව ඔහුට වර්ල්ඩ් කප් එකෙන් ජයගන්නට සෘජුවම බලපෑ බව ඔහු වරෙක මා සමඟ සඳහන් කර සිටියා.

දිවයිනේ ප්‍රකට ක්‍රීඩා සමාජ ක්ලබ් ක්‍රීඩා කණ්ඩායම් හා සෙසු ක්‍රීඩකයින් මගේ Power Gim වල පුහුණුව ලබනවා. තරඟවලින් ජය ගන්නවා. මට එය හරිම සතුටක්.

වසර 20කදී ජිම් 7කට ගෙනාවා. දැන් ජිම් 17ක් තියෙනවා. කොටස් වෙළෙඳපොළ හරහා ජිම් පටන් ගැනීමටත් අදහසක් ඇතිවුණා. ඒ පිළිබඳ ලිපි ගනුදෙනු ඇතිවුණා. ඒ අතරම ඉන්දියාවේ ජිම්පවත්වාගෙන යන අය සමඟත් සාකච්ඡා ඇතිවුණා. අන්තිමේදී ඉන්දියාවේ අය සමඟ ජිම් 20ක් විවෘත කිරීමට තීරණය වුණා.

සියයට සියයක් ඉන්දියාවේ අය මට උදව් කළා. ජිම්වල වැඩ කරන්නේ ඉන්දියාවේ අයමයි. පුහුණුකරුවන් විදියට ඉන්දියාවේ තරුණතරුණියන් පුහුණුකර තිබෙනවා.

ලෝක මට්ටමේ දැනුමක් ඉන්දියාවේත්, ලංකාවේත්, 'පවර් වර්ල්ඩ්' ජිම් හරහා ලබාදෙනවා. පුහුණුකරුවන් නීතිගරුකයි. හැම ජිම් එකකම 30%ක් ගැහැණු උපදේශකයින් ඉන්නවා.

අමෙරිකන් ක්‍රමවේදය අනුව සකස්වුණ පුහුණු පාඨමාලා Power World GIM මේ පුංචි ලංකාවෙන් ලෝකයටම ගෙනයනවා. බැන්ගලෝරය හා ඉන්දියාවේ සෑම නගරයකම Power World Gym 20ක් තියෙනවා. 2017 වර්ෂය තුළ තවත් රටවල් 20ක Power World Gim විවෘත කරවීම මගේ බලාපොරොත්තුවයි. ඉදිරි වසර 5 තුළදී රටවල් 100ක Power World Gim විවෘත කිරීම මගේ අරමුණයි.

Power World Gim ක්‍රමවේදය මේ පුංචි ලංකාවෙන් බිහිකිරීමට හැකිවීම පිළිබඳව මා හදවතින් සතුටුවෙනවා. මුළු රටේම ඇති Gym වල පාලනයත් Power World Gim ආයතනය මඟින් සිදුවෙනවා.

ශක්ති සම්පන්න තරුණ තරුණියන් පිරිසක් බිහි කිරීමට Power World Gim ක්‍රියාත්මක වන අතර 2017 දී ලෝකයේ රටවල් 20කටත් තවත් ඉදිරි වසර 5කදී රටවල් 100කටත් ගෙනයාමට මා බලාපොරොත්තු වෙනවා

වර්ග අඩි 4000ක ඉඩ ප්‍රමාණයක් ජිම් එකකට අවශ්‍යයි. අඩුම වශයෙන් වර්ග අඩි 3500ටත් ආරම්භ කර තිබෙනවා. මුළු රටේම තියෙන ජිම් ලංකාවේ Power World Gim ආයතනය මඟින් පාලනය වන බව කියන්න කැමතියි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාත් මා සමඟ මේ කටයුතු කිරීමට සහාය වෙනවා.

ව්‍යායාම කිරීම අපේ තරුණ තරුණයින්ට ඉතාමත් අවශ්‍ය දෙයක් බව මගේ දැනුමෙන් කියන්න සතුටුයි. ලංකාවේ තරුණ තරුණියන්ද අද මේ පිළිබඳව දෙවරක් නොසිතා කටයුතු කරන බව අපේ ජිම්වලට එන අයගෙන් මා තේරුම්ගෙන සිටිනවා. රට වෙනුවෙන් මේ අන්දමින් මෙහෙයක් කිරීමට ලැබීම පිළිබඳව මා ඇත්තෙන්ම සතුටු වෙනවා. 

 

නව අදහස දක්වන්න