තිර­නා­ට­කය සාහිත්‍ය කෘති­යක්ද? | දිනමිණ

තිර­නා­ට­කය සාහිත්‍ය කෘති­යක්ද?

සුනිල් මිහිඳුකුල

චිත්‍රපට තිරනාටක, සාහිත්‍ය කෘති ගණයෙහි ලා සැලකිය හැකිද? මා සිතන්නේ පුළුවන්ය කියාය. 1977 අමෙරිකාවේ හාර්වඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙක් කන්ටෙම්පරරි ජැපනීස් ලිට්රෙචර්’ නමින් සාහිත්‍ය සංග්‍රහයක් පළ කෙළේය. ඊට ජපන් චිත්‍රපට තිරනාටක දෙකක්ද ඇතුළත් කර තිබිණි. එම තිරකතා දෙක නම්; අකිර කුරසවගේ ‘ඉකිරු’ සහ යසුජිරෝ ඔශුගේ ‘තෝකියෝ ස්ටෝරි’ ය. මෙයින්ද සාක්ෂාත් වන කාරණාව වන්නේ තිරනාටකය, කලාකෘතියක් සේ පිළිගන්නා අයුරුය. ජපානයේ විශේෂයෙන් ඔහුගේ චිත්‍රපටවල තිරනාටක සාහිත්‍ය කෘති ලෙස සලකනු ලබයි.

චිත්‍රපට තිරනාටක සාමාන්‍යයෙන් දෙවර්ගයකි. එකක් සංවාදවලට මුල්තැන ලැබෙන සාහිත්‍යමය තිර නාටකයයි. අනික කැමරා කෝණවලට මුල්තැන ලැබෙන කාර්මික තිරනාටකයයි. නොඑ‍ෙස්නම් රූපගතකරන ලද (ෂූටිං) තිරනාටකයයි. මෙහිදී සාහිත්‍ය කෘති සේ වැදගත් වන්නේ මෙයින් පළමු ගණයේ තිරරචනයයි.

ජපන් නවකතා, කෙටිකතා, නාට්‍ය හා කවි (හයිකු) ඔස්සේ ජපන් සාහිත්‍ය සමග ඓන්ද්‍රීයව බැඳීසිටින මහාචාර්ය ආරිය රාජකරුණා ජපන් චිත්‍රපට තිරනාටක පරිවර්තනයේද ප්‍රමුඛයෙකි. ඔහු මේ වන විට ජපන් චිත්‍රපට තිරනාටක හතක් සිංහලට පරිවර්තනය කර ඇත. එනම් 1. ඉකිරු 2. තෝකියෝ ස්ටෝරි 3. රෂොමොන් 4. උගෙත්සු 5.ගේට් ඔෆ් හෙල් 6. අර්ලි සමර් 7. වන් වන්ඩර්ෆුල් සන්ඩේ.

මෙයින් ‘ගේට් ඔෆ් හෙල්’ (අපායේ දොරටුව) යනු කිසිදු භාෂාවකට පරිවර්තිතව නැති තිරනාටකයක් පමණක් නොව අවම වශයෙන් ජපානයේ ස්වදේශීය බසින්වත් පළව නැති තිරනාටකයකි. මෙය මහාචාර්ය රාජකරුණාට අහම්බෙන් ලැබුණ අත්පිටපතකි. කියොතේ නගරයේ පිහිටි චිත්‍රපට සම්මානයකට අනුබද්ධ පුස්තකාලයකින් ලබාගත් අත්පිටපතේ ඡායාස්ථ පිටපතකින් මෙම තිරරචනය පළකර ඇත.

මේ හැම තිරනාටකයක්ම සෘජුවම ජපන් බසින් සිංහලට පරිවර්තනය වීම විශේෂත්වයකි. ඒ හැරුණුකොට මහාචාර්ය රාජකරුණා ජපන් චිත්‍රපට තිරනාටක කීපයක් ඉංග්‍රීසි බසටද පරිවර්තනය කර ඇත. ඒවා නම්; කන්ජි මිසොගුචිගේ ‘රෙඩ් ලයිට් ඩිස්ට්‍රික් ඕ ස්ට්‍රීට් ඔෆ් ෂේම්’යසුජිරෝ ඔශුගේ ලේට් ස්පින්ග්, අර්ලි සමර්, අ හෙන් ඉන්ද වින්ඩ් තෙයිනොයුකෙ කිනුගාසා ගේ ‘අ ක්‍රේසි පේජ් ඇන්ඩ් ක්‍රාස් රෝඩ්’ යන කෘතිය.

මහාචාර්ය රාජකරුණා මේ මෑතදීද ජපන් තිරකතා දෙකක් ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. ඒ ‘ද ඔන්ලි සන්’ සහ ‘දෙයාර් වෝස් අ ෆාදර්’ ය. මේ තිරකතා දෙකම ඔශුගේ ය. ඔශු චිත්‍රපට 53ක් අධ්‍යක්ෂණය කළේය. ඒ අතර නිශ්ශබ්ද චිත්‍රපට ද වෙයි. ‘ද ඔන්ලි සන්’ ඔහුගේ ප්‍රථම ශබ්ද (කතානාද) චිත්‍රපටය වන්නේය.

‘ද ඔන්ලි සන්’ චිත්‍රපටයේ කතා සාරාංශය මෙවැන්නකි. දුප්පත් කම්කරු ස්ත්‍රියක් තම එකම පුතුට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔහුව තෝකියෝ නුවරට යවයි. ටික කලක් ගතවෙයි. පුතා ගැන කිසිදු ආරංචියක් නොලැබේ. මව ඔහු සෙවීමට නගරයට යයි. මේ වනවිට පුතා ඉගෙනුම අතහැර කසාදයක්ද බැඳගෙන සුළු රැකියාවකින් ජීවිතය ගැටගසා ගනිමින් සිටී. උසස් අධ්‍යාපනයක් ලැබීමේ පරමාර්ථය ඉටුනොවූ බැවින් හෙතෙම බලවත් සේ කනගාටුව සිටී. පුතා තමාට හැකි පමණින් මවට සත්කාර කරයි. පුතා දිරිගන්වන මව ආපසු ගමට යයි. තම අපේක්ෂා සුංබුං වූ නමුත් ඇය මහත් අභිමානයෙන් යුතුව පුතු සිහිපත් කරයි.

‘දෙයාර් වෝස් අ ෆාදර්’ කතා තේමාව මෙපරිදිය. එක්තරා පියකු තම පුතුට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඔහු යුද සේවයෙහි යොදවයි. අවසානයේ ඔහු තම හොඳම මිත්‍රයාගේ දුවට පුතු විවාහ කරදෙයි.

පැහැදිලි කතා වස්තුවක් ඇතැයි නොපෙනුණද ඔහුගේ තිර රචනාවල චරිත හා සිදුවීම් නොයෙක් භාවිකාර්ථ නංවයි. එසේම ඒවායේ සංවාදවලට ලැබෙන්නේ ප්‍රමුඛ තැනකි. ඒවා බෙහෙවින් පරිසමාප්තය. ඔහු තිරනාටකය ලියා හමාරවූ කල ඔහුගේ චිත්‍රපටය අවසන් බවට විචාරකයන් අදහස් දක්වා ඇත්තේ එහෙයිනි.

සමස්තයක් වශයෙන් ගත්කල ඔහුගේ චිත්‍රපටවල එක් තේමාවක් පොදුවේ දිවෙන බව පෙනී යයි. එනම් පහළ හෝ මැද පාන්තික පවුල් සංස්ථාවේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයයි. විශේෂයෙන් පුතු හෝ දියණිය විවාහපත් වූ හෝ නිවෙසින් බැහැර වූ කල මවගේ හෝ පියාගේ දැඩි හුදකලාවයි. තනිවීමයි.

ඔහුගේ චිත්‍රපට අළලා ජපන් සිනමාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ඩොනල්ඩ් රිච් නම් වූ සුප්‍රකට විචාරකයා කර ඇති පහත එන සඳහන ඔහුගේ චිත්‍රපට සමස්තයට කරුණු යොදා හැඳින්වීමක් බඳුය.

“ඔහුගේ ප්‍රධාන වස්තුවිෂය වනුයේ පවුල විසිරයෑමේ පුවතයි. ඔහුගේ චිත්‍රපට පනස් තුනටම පවුල් සබඳතා සිඳී බිඳී යෑම පාදක කර ගැනේ. ඔහුගේ පසුකාලයේ චිත්‍රපටවල මුළු ලොවම එක් පවුලක් තුළ වාසය කරන අයුරින් දැක්වෙයි. ඔහු අතින් නිර්මාණය වන චරිත සමාජයේ වෙසෙන සාමාජිකයන්ට වඩා පවුලක වෙසෙන සාමාජිකයන්ලෙස ගිනිය හැකිය.

ලොවෙහි සියලු සබඳතා මත අනිත් පවුලකට නිවෙසකට පමණක් සීමාකොට දැක්වෙයි.” ඔශුගේ චිත්‍රපට වෙතින් කුරසාවගේ චිත්‍රපටවලටත් වඩා වියත් සාම්ප්‍රදායික ලක්ෂණ නිරූපණය වෙතැයි විචාරක අදහසයි. ඔහු ශිල්පීය වශයෙන් ගත්තද ජපන් සමාජයට භාවිතයට ආවේණික ධර්මතා අනුගමනය කළ අධ්‍යක්ෂවරයකු බව ඔහු කැමරාව පිහිටන ස්ථානද අනුව අපිට සිතාගත හැකිය.

මෙබඳු තිරරචන කියවීම ග්‍රීක හෝ සංස්කෘත නාට්‍යයක පෙළ කියවීමෙන් ලබන්නා වූ රසයට, වින්දනයට සමාන රසයක්, වින්දනයක් ලබාගත හැකි බව පෙන්වා දෙමි. 

නව අදහස දක්වන්න