හෙළකුරු ඇප් එක මිලියන දෙකක් බාගත කරගෙන | දිනමිණ

හෙළකුරු ඇප් එක මිලියන දෙකක් බාගත කරගෙන

තඹරු විජේසේකර
ධනික පෙරේරා - භාෂා ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී

'භාෂා' ආයතනය විසින් නිපදවන ලද ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා සිංහල යතුරු ලියනය කිරීමේ යෙදුමක් වූ ‘හෙළකුරු’ යෙදුම මේ වන විට මිලියන දෙකක පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන්නට සමත්ව තිබෙනවා. 2011 වර්ෂයේදී ඇන්ඩ්‍රොයිඩ් සඳහා හඳුන්වාදුන් මෙම යතුරු පුවරුව සිංහල භාෂාවෙන් යතුරු ලියනය කිරීමට තවමත් ඇති හොඳ ක්‍රමවේදයක අඩුව සහමුලින්ම විසඳාලනවා. ඇන්ඩ්‍රොයිඩ් ලාංකිකයන් අතර ජනප්‍රිය වීමේදී මුහුණ දෙන්නට සිදු වූ ප්‍රධානම ගැටලුවක් වූ සිංහල අකුරු කියවීමේ සහ ලිවීමේ අපහසුතාව භාෂා ආයතනය විසින් මුල් වී විසඳීමට කටයුතු කළ අතර SETT බ්‍ර‍වුසරය සහ හෙළකුරු යන යෙදුම් දෙක ලොවට දායාද වන්නේ ඒ අනුවයි. නූතන දුරකතනවල සිංහල අකුරු අඩංගු කොට පැමිණෙන නිසා කියවීමට ඇති අපහසුතාව මඟ හැරී තිබුණත් කියවන ආකාරයට ලිවීම හෝ විජේසේකර යතුරු පුවරුව සමඟ යතුරු ලියනය කිරීම සඳහා වඩාත් සාර්ථක විසඳුමක් ලබා දෙන්නට සමත්ව සිටින්නේ ‘භාෂා’ආයතනය පමණයි. ලංකාවේ ස්වයංව්‍යවසායක් ලෙසින් ඇරැඹි අපූරු ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වන ධනික පෙරේරා සමඟ කළ සාකච්ඡාවකි මේ.

‘හෙළකුරු’ නිර්මාණය කරන්න අදහස ආවෙ කොහොමද?

මම මුලින් ම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලෙ කේවල ව්‍යාපෘතිය සඳහා SETT බ්‍ර‍වුසරය හැදුවා. එය හදන්නට පාසල් කාලයේ සිටම තාක්ෂණය සහ සිංහල භාෂාවට මගේ තිබුණු නැඹුරුතාවය හේතු වුණා. SETT බ්‍ර‍වුසරය සිංහල නැති ඕනෑම දුරකතනයකට අන්තර්ජාලය ගවේෂණය කරන්න, සිංහල වෙබ් අඩවිවලට පිවිසිලා ඒවා කියවන්නට හැකි ආකාරයේ යෙදුමක්. එය භාවිතා කිරීමේදී බොහෝ දෙනෙක් මුහුණ දුන් ගැටලුවක් විධියට සිංහල යතුරු ලියනය කිරීමට ඇති අපහසුතාව මට පෙනී ගියා. ඒ අනුව තමයි භාෂා ලංකා ආයතනය පිහිටුවීමත් සමඟ හෙළකුරු යෙදුම තැනීම අපි ආරම්භ කළේ. ඒ සඳහා චාමිකර වීරසිංහ සහ ජර්මනියේ සිට සම්බන්ධ වන ගනිඳු ප්‍රභාශන යන මගේ යහළුවන් දෙදෙනා බෙහෙවින් උපකාර කළා.

‘හෙළකුරු’ එක්ක තවත් සමකාලීන යෙදුම් බිහි වුණා. මේවා එක්ක හෙළකුරුවල තිබෙන විශේෂතා මොනවාද?

ඇත්තට ම හෙළකුරු තමයි මුලින් ම හැදුණු කීබෝඩ් එක. ඊට පස්සේ විවිධ ඇප්ස් බිහි වුණා. ඒත් මෙහි තිබුණු විශේෂත්වය තමයි එය හුදෙක් ඇප් එකක් නෙවෙයි, සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් කීබෝඩ් එකක්. ඒ නිසා වෙනත් ඕනෑම යෙදුමක යතුරු ලියනය කරන්නට හෙළකුරු භාවිත කරන්නට පුළුවන්. මෙය මුලින් අපි ඇන්ඩ්‍රොයිඩ්වලට ගැලපෙන විදිහට විතරයි හැදුවේ. නමුත් මේ වන විට ඇපල් දුරකතන සඳහාත් අපි හෙළකුරු ලබා දී තිබෙනවා.

භාෂා ලංකා ආයතනයේ ආරම්භය ගැන තොරතුරු කිව්වොත්?

මම මොරටුව විශ්ව විද්‍යාලයේ තුන්වන වසරේ සිටින කාලයේදී තමයි භාෂා ලංකා ආයතනය පටන්ගත්තේ. එවැන්නක් ආරම්භ කරන්නට නම් ස්වයංව්‍යවසායකයෙක්ට මුහුණ දෙන්නට සිදුවන ප්‍රධාන දේවල් දෙකක් තිබෙනවා. එකක්, නිෂ්පාදනය. අනෙක පාරිභෝගිකයෙක්. මගේ SETT බ්‍රවුසරයට 2011 ජූලි මාසයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවති mBillionth නම් දකුණු ආසියානු ජංගම මෘදුකාංග සම්මාන උළලේදී සම්මානයක් ලැබුණා. ඒ සමඟ ලංකාවේ ප්‍රධාන දුරකතන සමාගමක් විසින් මේ නිර්මාණය ඉල්ලා සිටි අතර එම ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා ව්‍යාපාරයක් වශයෙන් මේ භාෂා ලංකා සමාගම 2011 දී ලියාපදිංචි කළා. ඉන්පසු 2013දී කළුතර ප්‍රදේශයේ කාර්යාලයක් ද ආරම්භ කරන්නට හැකිවුණේ අද වන විට සේවකයන් පහළොස් දෙනෙක්ට පමණ රැකියා අවස්ථා ද ලබා දෙමිනුයි. 'මහජනයා සවිබල ගන්වමින්' යන තේමා පාඨය අපි මුල් කර ගත්තා.

ආයතනය ආරම්භ කරලා වැඩි කාලයක් යන්නටත් ප්‍රථම ඊට දේශීය සහ ජාත්‍යන්තර සම්මාන රැසක් හිමි වුණා නේද?

2011 නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවති ඉ-ස්වාභිමානී නම් ජාතික ඉ-අන්තර්ගත සම්මාන උළලේදී නැවත වරක් SETT බ්‍රවුසරය සඳහාත්, SETT deco නම් යුනිකෝඩ් විකේතකයටත්, භාෂා ඩික්ෂනරි නම් ශබ්දකෝෂ යෙදුමටත් සම්මාන හිමි වුණා. ඉන්පසු 2016 වර්ෂයේදී ජාතික තරුණ සංවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ යෞවනත්ව සම්මාන උළෙලේදී ලංකාවේ ජනප්‍රියම ජංගම දුරකතන යෙදුම වශයෙන් අපේ හෙළකුරු පත් වුණා. 2016 මුල් භාගය වෙද්දී හෙළකුරු වෙත මිලියනයක පරිශීලක සංඛ්‍යාවක් සිටි අතර 2017 වන විට එහි බාගත කිරීම් මිලියන දෙකක් බවට පත් වුණේ සැබැවින්ම එය ලංකාවේ ජනප්‍රියම යෙදුම වුණු නිසා බව හොඳින් ම පැහැදිලියි.

භාෂා ලංකා ආයතනය හරහා නිපැයුණු වෙනත් යෙදුම් තිබෙනවාද?

සෙට් බ්‍රවුසරයට පස්සේ එහි ම ව්‍යුත්පන්නයක් විධියට SETT deco යන නිෂ්පාදනය කළා. එය ලංකාවේ බ්ලොග්කරුවන්ට අපි නොමිලේ ලබා දුන්නේ එකල තිබුණු බ්ලොග් කියවීමේ අපහසුතාව පාඨකයන්ට මග හරවා ගන්නට උපකාරයක් වශයෙනුයි. මේ වන විට අපි ශබ්දකෝෂයක්, භාෂා පුවත් නමින් පුවත් පෝෂක යෙදුමක්, මොබිටීවී සහ රූප ලෙස රූපවාහිනී වැඩසටහන් සඳහා යෙදුම් දෙකක්, යාළු නමින් සංවාද යෙදුමක් තනා තිබෙනවා. වයිබර්වලට සිංහල ස්ටිකර්ස් එන්නත් කලින් තමයි අපි යාළු යෙදුම හරහා සිංහල ස්ටිකර්ස් භාවිතා කරන්නට අවස්ථාව සලසා දුන්නේ.

ලංකාවේ ස්වයංව්‍යවසායකයෙක් වශයෙන් ඊට පිවිසෙන නවකයන්ට යමක් කියන්න කැමතිද?

මගේ රහස තමයි නිහතමානීකම. ව්‍යාපාරයක් කරගෙන යද්දී ඇද වැටීම්වලට ඕනෑ තරම් මුහුණ දෙන්න සිදු වෙනවා. ඒත් ඒවායෙන් නොසැලී සිටියොත්, ඇද වැටීමක් හෝ ඉහළ නැගීමක් යන අවස්ථා දෙකේදී ම ඕනෑවට වඩා දුක් වන්නට හෝ සතුටු වන්නට කාලය නාස්ති නොකර තමන්ගේ ඉලක්කයට යන්නට පුළුවන් නම් තමයි අපිට දිනන්නට හැකි වෙන්නේ.

ඉදිරියේදී භාෂා ආයතනය හරහා කරන්නට බලාපොරොත්තු වන දේවල් මොනවාද?

මේ වන විට ලොව ‘සුපිරි ඇප්’යන සංකල්පයට පැමිණ තිබෙනවා. එහි තේරුම තමයි එක් දෙයකට සීමා වුණු ඇප් එකක් වෙනුවට බොහෝ දේවල් රැසක් ඒ හරහා කරගන්නට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසීම. අන්න ඒ ආකාරයට අපේ හෙළකුරු හරහාත් අකුරු යතුරු ලියනය කිරීමෙන් ඔබ්බට ගොසින් එදිනෙදා අවශ්‍ය දේවල් බොහොමයක් ඒ හරහා ම ලබා දෙන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ ප්‍රශ්නවලට පිළිතුරු වෙනත් රටකින් ලැබෙන තෙක් බලා නොසිට ඒවා අපේ අතින් ම තනන්නට වෑයම් කරනවා. පොත්පත්වලින් මෙතෙක් කල් රැකුණු සිංහල භාෂාව වෙනුවෙන් තාක්ෂණික ලෝකයේ මංපෙත් හෙළි කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

නව අදහස දක්වන්න