සමාජයට යහපත් පණිවිඩ දෙන්න දරුවා තරම් සම්පතක් තවත් නැහැ | දිනමිණ

සමාජයට යහපත් පණිවිඩ දෙන්න දරුවා තරම් සම්පතක් තවත් නැහැ

තිලක් පුෂ්ප කුමාර සේනානායක

සමාජයට යහපත් පණිවිඩයක් ගෙන ඒමට පාසල් දරුවා තරම් සම්පතක් තවත් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ (19) මහනුවර දිගන කොන්ගල්ල මහා විද්‍යාලයේදී පැවැති තිරසර පාසල් වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

මම ඉතාමත් සතුටට පත් වෙනවා. ඔබලා සමඟ එකතු වී අපේ හෙට දවස වෙනුවෙන් මානව සමාජයේ තිරසර පැවැත්මට ගෙනයන තිරසර සංවර්ධන වැඩසටහනට එක්වීමට ලැබීම ගැන. ජනාධිපති ලේකම් කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය එකට එක් වී ගෙනයන මේ වැඩපිළිවෙළ අපේ අනාගත බලාපොරොත්තු දල්වාලන්නක්.

ඒ ඒ අමාත්‍යාංශයට අයත් විෂය පථයේ තිරසර සංවර්ධන වැඩසටහන අපි ක්‍රියාවට නඟනවා. මෙයින් අධ්‍යාපන අමාත්‍යාංශය අපට ඉතා වැදගත් වෙනවා. මෙහිදී ප්‍රධාන වන්නේ පාසල් දුවා දරුවන්. සමාජයට ලෝකයට යහපත් පණිවිඩයක් ගෙනයාමට පාසල් දරුවා තරම් සම්පතක් තවත් නැහැ.

බොහෝ විට පාසල් දරුවා සම්ප්‍රදායිකව විභාගයට සූදානම් වීම දැනුම ලබාගැනීම පාසලෙන් කරනු ලබනවා. පාසලේ කරන්නා වූ විවිධ විෂයන්වල ගුරුවරුන්ගේ මඟ පෙන්වීමෙන් කෙරෙන්නා වූ කාර්යයන් වැදගත්. ගෙවී ගිය කාලයට වඩා අද කාලය වෙනස් වෙමින් තිබෙනවා.

අපි හෙට දවස වෙනුවෙන් සූදානම් විය යුතු වෙනවා. 'අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං' යනුවෙන් ප්‍රමාදයකින් තොරව අප කාර්යයන් ඉටු කළ යුතු වෙනවා. රෝගියකුට කළ යුතු ප්‍රතිකාරය කල්දැමිය නොහැකියි. තිරසාර සංවර්ධනයේ අරමුණත් එයයි.

අපට උපදෙස් දෙන ලෝකයේ බලවතුන් ගෝලීය උෂ්ණත්වය වර්ධනය කිරීමට කටයුතු කළා. ඔවුන් සිය සංවර්ධන කාර්යයන්වලදී ලෝකයට බරපතළ හානියක් සිදු කළා. මහා බලවතුන්ගේ රටවල අගනුවරවල වායු දූෂණය අද ඇතිවෙලා. අපේ රට එවැනි තත්ත්වයකට ඒමට කලින් ගහකොළ ඇළ දොළ කඳු වැටි ගංගා සත්ත්ව ප්‍රජාව පක්ෂී වර්ග සුරැකීම කළ යුතු වෙනවා. නව තාක්ෂණය සමඟ ඉදිරියට යන ගමනේදී පරිසර සුරක්ෂිතතාව ප්‍රධාන වෙනවා.

සීමිත සම්පත් ප්‍රමාණය නොසලකා පරිසර සංරක්ෂණය නොසලකා ලෝකයේ බලවතුන් කටයුතු කිරීමෙන් සියලු සත්ත්වයාම බරපතළ අභාග්‍යයකට මුහුණ දී තිබෙනවා.

ඒකයි අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එකට එක්වී පාසල් දරුවා ඒකරාශී කරලා මේ තර්ජනයට මුහුණ දෙන්න එක්වී ඉන්නේ. අද අපේ රටේ වන ගණත්වය සියයට 27, 28ක් වෙනවා. පරිසරය සුරකින රටක් ලෙස වන ගණත්වය සියයට 50කට නැවත ගෙන යා යුතුයි.

ලෝකයට මේ ව්‍යසනකාරී තත්ත්වය ඇතිවීමට සියලු දෙනාගේම කාර්යයන් බලපෑවා. අපේ වගකීම වන්නේ ලෝකයේ මේ ව්‍යවසනකාරී තත්ත්වයෙන් මිදීම සඳහා වගකීම් ගැනීමයි.

අපි හෙට දවසේ අය සඳහා වගකීම් හා යුතුකම් ඉටු කළ යුතුයි. තිරසර සංවර්ධන කාර්යයේදී දේශීය ආහාර මත්ද්‍රව්‍ය නිවාරණය වකුගඩු රෝග වැළැක්වීම දරුවන් සුරැකීම ආදී ප්‍රස්තූතයන් වඩා වැදගත් වෙනවා.

අපේ රටේ කඳුකරය ආරක්ෂා කර ගත යුතුයි. රටට ජලය සපයන ජල පෝෂක ප්‍රදේශවල හදවත වන්නේ කඳුකරයයි. සංවර්ධනයට අවශ්‍ය වැලිගල් පස් ආදි සංවර්ධනයට අවශ්‍ය දේවල් ලබා ගැනීමේදී ස්වභාවික සම්පත් ආරක්ෂා වන ලෙස ඒවා ලබා ගත යුතුයි. කඳුකරය ආරක්ෂා නොකළොත් ජීවත්වීම බරපතළ ප්‍රශ්නයක් වෙනවා.

ස්වභාවික සම්පත් ආරක්ෂාව සේම තිරසර සංවර්ධනයේදී මතින් තොර රටක් මෙන්ම ආර්ථික අතින්ද මානසික ශක්තියෙන්ද පිරිපුන් ජනතාවක් ඇති කරගත යුතුයි.

අඩු ආදායම්ලාභී පවුල්වල අය මත්ද්‍රව්‍ය සඳහා වියදම් කරනවා. ඒ තුළ මොනතරම් විනාශයක් ‍තිබෙනවාද? සෑම ප්‍රශ්නයකටම උත්තරයක් තිබෙනවා. අඳුරට ආලෝකයක් තියෙනවා. නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යාමේදී දරුවන් විභාග සමත්වීම මෙන්ම සමාජයට යහපත් දෙයක් දායාද කිරීමත් ප්‍රශස්ත වෙනවා. වගකීම් තේරුම් ගැනීමේ ශක්තිය අපිට තියෙනවා. පඬිවරුන් විද්‍යාඥයන් විවිධ ක්ෂේත්‍රවල හසල ඥානයක් ඇත්‍තන්ගේ සැලසුම් සාර්ථක කරගැනීමෙන් ඉදිරියට යා යුතුයි.

මේ වැදගත් අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන සතුටට පත් වෙනවා. උතුම් ජාතික කර්තව්‍යයක් ඉටු කිරීමට සියල්ලන් එකමිටට එක්වීම ගැන ස්තූතිය පුද කරන්න කැමැතියි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා-

පාසලෙන් තමයි තිරසර සංවර්ධනයේ මුලාරම්භය ගත යුතුව තිබෙන්නේ. පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන එය අනාගත පරපුරට ආරක්ෂා කර දිය යුතුයි. විශාල වෙනස්වීම් සහිත ලෝකයක අපි ඉන්නේ. එදා අක්කර දහයකින් ගත් අස්වැන්න අද අක්කරයකින් ගැනීමට තාක්ෂණය ප්‍රමාණවත්.

කෘත්‍රිම බීම වර්ග, ආහාර වර්ගවලට එරෙහිව අපි චක්‍රලේඛ නිකුත් කොට තිබෙනවා. මේ සඳහා විදුහල්පතිගේ සිට දරුවා දක්වා කැපවිය යුතුයි.

අපි ලිංගික අධ්‍යාපනය ගැන දැනුවත් කිරීමට කටයුතු කරනවා. සමාජයේ යම් යම් සිද්ධිගෙන බලන විට මේ ක්ෂේත්‍රය ගැන අවබෝධය අඩුයි. පාසල් ගොඩනැඟිලි හොඳ වර්ණවලින් නිමකර දරුවන් ලවා ආදර්ශමත් දේ ලියවන්න කටයුතු කරනවා. සෞඛ්‍ය රක්ෂණය සිසුන් ලක්ෂ 45කට ලබා දෙනවා. අද අපේ මවුපියන් කරන රැකියා ඉදිරියේදී හාත්පසින්ම වෙනස් වේවි. ඉදිරියට අලුත් රැකියා ‍එන්නේ.

මෙහිදී තිරසර පාසල් වැඩසටහන පිළිබඳ වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය. වකුගඩු රෝගය වෙනුවෙන් මවුපියන් අහිමි වූ මාතලේ සිසු දරුවෝ 05 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය දුරස් පාලන ක්‍රමයට පාසල් 10ක ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති විවෘත කිරීම පාසල්වලට උපකරණ ප්‍රදානය ජනාධිපති අතින් සිදු විය. මෙහිදී මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාද කතා කළ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය ද ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද එක්ව සිටියහ. 



නව අදහස දක්වන්න