සොබා සෞන්දර්යයෙන් පිරි බහිරව කන්ද | දිනමිණ

සොබා සෞන්දර්යයෙන් පිරි බහිරව කන්ද

 

බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරය හෙවත් ලෝක උරුම නගරයක් වන මහනුවර නගරය, සංචාරකයන්ගේ ප්‍ර‌ධාන සංචාරක ඉසව්වකි.

දළදා මාලිගාවත්, ඒ අවට පිහිටි ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන, දෙස් විදෙස් සැමගේ ආකර්ෂණයට ලක්ව ඇත.එයින් වැදගත් ඓතිහාසික ස්ථානයක් ලෙස 'බහිරව කන්ද' සැලකිය හැකි ය. ශ්‍රී දළදා මාලිගාවේ සිට කිලෝ මීටර් 2 ක් පමණ නුවර නගරයේ සිට ඉහළට ගමන් කරන විට “බහිරව කන්ද” මුණ ගැසේ. මෙහි අදහස 'බහිරවයා ගේ කන්ද' යන්නයි. මේ හා බැඳුණු විශ්වාස හා ජනශ්‍රැති ද ඉතිහාසය තුළ ගැබ්ව පවතී.

පුරාවෘත්තයකට අනුව මේ ශිකරයේ ප්‍රබල බහිරව දේවාලයක් පිහිටා තිබුණු බව කියැවේ. එමෙන් ම, බහිරව දෙවියන් වෙනුවෙන් බිලි පුජා පැවැත්වීම සඳහා රූප සොබාවෙන් යුතු කන්‍යාවන් සියයක් පමණ සිටි බවත්, මේ දේවාලය හා කෝවිල සමෘද්ධිමත් වූයේ නායක්කාර රජු සමයේ බවත් ඉතිහාස පුරාවෘත්ත මඟින් ගෙනහැර දක්වයි.

එකල හස්ති අංශයේ ප්‍රධාන භාරකරු වූ දුනුවිල ගජනායක නිලමේතුමාගේ ආදරවන්තිය ද මේ බිලි පුජාව සඳහා තීන්දු කර තිබුණු බවත්, ඇය එයින් ගලවා, නිළමේතුමා භාර වුණු බවත් පුරාවෘත්ත මඟින් හෙළි වේ. එයින් , පසුව රජු මේ බහිරව පූජා නැවැත් වූ බවත්, ඉන් පසු දේවාලය නටබුන්වලට පමණක් සීමා වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

මහනුවර රාජධානි සමයේ මේ කඳු මුදුනින් විශාල ශබ්දයක් නැඟුණු බවත්, මේ අධික ශබ්දය නිසා මිනිසුන් බියවැදුනු බවත්, තවත් පුරාවෘත්තයක් හෙළි කරයි. හුදී ජනයා මෙය විශ්වාස කර ඇත්තේ, බිලි පුජාවේදී නැඟුණු බහිරවයාගේ හඬ විය හැකි බවයි. පසුව රජු සෑම අවුරුද්දක් පාසාම කන්‍යාවක් බිලි දීමට තීරණය කළ බව පුරාවෘත්තවල සඳහන් වේ. රජුගේ අමාත්‍යතුමා මෙය අවුරුද්දක් පාසා ම සිදු කළ යුතු බව රජුට සැලකල ද, අවසානයේ ඔහුගේ පුතුගේ ආදරවන්තිය ද බිල්ලට නියම වුණු බව සඳහන් වේ.

එහෙත්, පසුව ඔහුගේ පුතු මේ කන්දට පැමිණ, සිය බහිරවයා සමඟ සටන් වැදී ආදරවන්තිය, බේරා ගත් බවත්, බහිරවයා ලෙස ඔහු කන්ද මුදුනේ සිට හඬ නැගූ බවත් සඳහන් වේ. එම ශබ්දයෙන් ජනතාව විශ්වාස කළේ බහිරවයා එම බිලි පුජාව බාර ගන්නට ඇති බව ය.ඔවුන් දෙදෙනා දිවි ගලවාගෙන නැවත රාත්‍රියේ නගරයට පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, අද වන විට සෙංකඩගල ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වෙත දෙනෙත් යොමා වැඩ සිටින දැවැන්ත වූත්, අති විශාල වූත් බුද්ධ ප්‍රතිමා වහන්සේ, බහිරව කන්ද මස්තකයෙහි දක්නට ලැබේ. වර්ෂ 1972 අම්පිටියේ ධම්මාරාම හිමියන් ගේ අනුදැනුම මත බහිරව කන්දේ ඉදිකළ දැවැන්ත බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ශ්‍රී මහා බෝධි විහාරය විවෘත වූයේ, 1993 ජනවාරි 01 දින හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතිනි. අද වන විට ජාත්‍යන්තර බෞද්ධ සම්බන්ධතා පවත්වන මධ්‍යස්ථානයක් ලෙස බහිරව කන්ද ශ්‍රී මහා බෝධි විහාරය හැදින්විය හැකි ය.

එපමණක් නොව, සොබා සෞන්දර්ය නැරැඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා බහිරව කන්ද ඉතා අනර්ඝ සංචාරක තෝතැන්නකි. එහි සිට බලන විට හාත්පසින් දක්නට ඇත්තේ, එකින් එක යා වුණු කඳු පන්ති ය. එමෙන් ම, මහනුවර නගරය එක මොහොතකින් දෙනෙතට දැක ගැනීමේ භාග්‍යයක් ද දෙස් විදෙස් සංචාරකයන්ට උදා වේ. කඳු මුදුනේ නිසසලව වැඩ සිටින බහිරව කන්ද බුද්ධ ප්‍රතිමා වහන්සේ, මුළු මහනුවර නගරයටම ගෙන එන්නේ ශාන්ත වූත්, පිවිතුරු වූත් බුදු ගුණ සමුදායකි.

 

ලක්මිණි ගාල්ලගේ

නව අදහස දක්වන්න