ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ලබන ඉරිදා (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
සත්කාරක ශ්‍රී ලංකාව සමඟ ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් මේ තරගාවලියට එක් වන අතර, ශ්‍රී ලංකා – ඉන්දියාව තරගයෙන් තරගාවලිය ආරම්භ වන්නේ ඉරිදා පෙරවරු 10.00ටය. තරගාවලියේ මූලික වටයේ තරග 6 ලබන මස 6 වැනිදා දක්වා පැවැත්වේ. එහිදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමඟින් දෙවරක් තරග වැදීමට නියමිත අතර, මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකා පිල සුපුරුදු පරිදී චමරි අතපත්තුගේ නායකත්වයෙන් මේ තරගාවලියට එක්වන අතර, ඉන්දීය පිල හර්මන්ප්‍රීත් කෞර් විසිනුත්, ලෝරා වොල්වාඩ් දකුණු අප්‍රිකානු පිලත් මෙහෙයවති.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සමඟින් තුන්කොන් සටනකට එක් වන්නේ පළමු වරට වන අතර, තුන්කොන් තරගාවලියක් ක්‍රීඩා කරන්නේ වසර 16කට පසුවය. ශ්‍රී ලංකා පිල මින් පෙර 2009 වසරේ බංග්ලාදේශයේදී සත්කාරකයන් සහ පාකිස්තානය සමඟ තුන්කොන් තරගාවලියකට එක්ව තිබේ. ඉන් පෙර ආසියානු කුසලාන තරගාවලියේදී තෙවරක් තුන්කොන් තරගාවලි ක්‍රීඩා කර ඇත.
ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් වරට පසුගිය වසරේ දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලියකට එක්වූ අතර, එහිදී තරග 3කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය. ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව 2022 වසරේ අවසන් වරට එක්දින තරගාවලියක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඉන්දියාව 3-0ක ජයක් වාර්තා කර තිබේ. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව එක්දින පිටියේදී පසුගිය වසරේ හමුවුවත්, ඉන්දීය පිල හමුවන්නේ 2022 වසරෙන් පසුවය. ශ්‍රී ලංකා පිල එක්දින පිටියේදී ඉන්දියාව 32ක් හමුව ඇති අතර, ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 2ක් පමණි. ශ්‍රී ලංකා අවසන් ජය 2018 වසරේ සැප්තැම්බර් 16 වැනිදා වාර්තා වන්නේ කටුනායකදී කඩුලු 3කිනි. එහිදී ද චමරි අතපත්තු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 23කින් 5ක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව එක්දින පිටියේදී 31 වරක් හමුවී ඇති අතර, ඉන් තරග 18ක් ඉන්දියාවත්, තරග 12ක් දකුණු අප්‍රිකාවත් ජය ගෙන ඇත. තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබේ. මේ තරගාවලියේ අවසන් මහ තරගය ලබන මස 11 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ අතර දිවා තරග ලෙස පැවැත්වෙන තරගාවලියේ සියලු තරග ක්‍රීඩාංගණයේදී නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
තරග කාලසටහන
27 දා: ශ්‍රී ලංකාව – ඉන්දියාව
29 දා: ඉන්දියාව – දකුණු අප්‍රිකාව
මැයි 02 දා: ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව
මැයි 04 දා: ශ්‍රී ලංකාව – ඉන්දියාව
මැයි 07 දා: දකුණු අප්‍රිකාව – ඉන්දියාව
මැයි 09 දා: ශ්‍රී ලංකාව – දකුණු අප්‍රිකාව
මැයි 11 දා: අවසන් මහ තරගය
(සියලු තරග ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී)