Home » මරගල කඳුවැටියේ ඉපැරණි ජීලෝන් බංගලාව ප්‍රතිසංස්කරණයට පියවර

මරගල කඳුවැටියේ ඉපැරණි ජීලෝන් බංගලාව ප්‍රතිසංස්කරණයට පියවර

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණතිලක, ඌව පළාත් සමූහ - ප්‍රසන්න පත්මසිරි

මොනරාගල, මරගල කඳුවැටියේ පිහිටි 1907 වර්ෂයේ ඉදිකරන ලද ස්වාභාවික පිහිනුම් තටාකයක් සහිත ඉපැරණි ජීලෝන් බංගලාව ප්‍රතිසංස්කරණය කිරීමට ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ.එම්. කපිල ජයසේකර, පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල, ඌව පළාත් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් උපාලි ජයසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ජීලෝන් බංගලාවේ වත්මන් තත්ත්වය සහ සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා පෙරේදා (23) වැනිදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මුහුදු මට්ටමේ සිට මීටර් 1,100ක පමණ උසකින් යුත් මරගල කඳුවැටියේ පිහිටි ජීලෝන් බංගලාව කාලයක් වතු අධිකාරිවරුන් විසින් පරිහරණය කරනු ලැබූවකි. මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් ජීලෝන් කඳුවැටිය නැරඹීමට පැමිණ මෙම බංගලාවේ නවාතැන් ගනිති. මේ හේතුවෙන් ඔවුන්ට පහසුකම් සැලසීමට නව සැලසුමක් යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට සැලසුම් සකස් කර තිබේ. මොනරාගල නගරයේ සිට සැතපුම් 6ක පමණ දුෂ්කර මාර්ගය සහ බංගලාවේ අබලි තැන් මෙම සැලසුම අනුව පිළිසකර කෙරේ.

කඳුගැට රැසකින් සමන්විත මරගල කඳු වැටියේ උසම ස්ථානය ජීලෝන් නමින් හැඳින්වේ. අතිශය ජල සංවේදී කඳු වැටියක් වන මරගලින් විශාල ගොවි බිම් ප්‍රමාණයකට ජලය සපයන හැඩඔය, විලඔය සහ කුඹුක්කන් ඔයේ අතු ගංගාවක් වන හුලංදා ඔය පෝෂණය කරන මරගල ඔය ආරම්භ වන අතර, ඉන් නගරයේ පවුල් 7,000කට පමණ පානීය ජලය සපයයි. මොනරාගල දිස්ත්‍රික්කය තුළ අන්තර් මාධ්‍ය සහ වියළි දේශගුණික තත්ත්වයක් පැවතියත් ජීලෝන් කඳුවැටියේ තෙත් කලාපීය දේශගුණ තත්ත්වයක් පවතී. දිස්ත්‍රික්කයේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 1,500-2,000 අතර වුවත් කඳු වැටියේ එය මිලිමීටර් 2,500ක් පමණ වේ. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ගංගාධාරා වනාන්තර, සවාන තෘණ බිම්, නිවර්තන තෙත් සදාහරිත වන ප්‍රදේශ මෙහි පිහිටා ඇත. ශ්‍රී ලංකාවට ආවේණික වූ පක්ෂීන්, සමනලයන් හා උරගයන් මෙම වනාන්තරයේ වෙසෙන අතර, විවිධ වර්ගයේ දුර්ලභ ශාක මෙහි වෙයි. මහා විජයබාහු නමින් ප්‍රකට වූ කීර්ති කුමරු වාසය කරන ලද ‘මූලසල’ නම් ගම මෙය යැයි චූලවංශයේ සඳහන් වේ. ‘මූලසල’ යන්න ‘මුල්සල’ නමින් ද හඳුන්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT