Friday, April 25, 2025
Home » අනුරාධපුර මහ වාරිමාර්ග-වැව් රක්ෂිත අනවසරයෙන් අත්පත් කර ගැනීම් ඉහළට

අනුරාධපුර මහ වාරිමාර්ග-වැව් රක්ෂිත අනවසරයෙන් අත්පත් කර ගැනීම් ඉහළට

නුවර වැව රක්ෂිතය තුළ පමණක් ප්‍රධාන පත්‍ර ඔප්පු 160ක්

by mahesh
April 25, 2025 1:00 am 0 comment

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමූහ නිමල් විජේසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග වැව්වලට අයත් රක්ෂිත ඉඩම්, විවිධ ඉදිකිරීම් හා වගා කටයුතු සඳහා බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමේ සිදුවීම්වල ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වී තිබේ. දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග ජලාශ 14ක් පිහිටා ඇත‍. නුවර වැව, තිසා වැව, අභය වැව, මහකණදරාව, මහවිලච්චිය‍, හුරුලුවැව, මානන්කට්ටිය, පදවිය, වාහල්කඩ‍, රාජාංගණය‍, නාච්චාදූව, තුරුවිල, යාන්ඔය සහ අංගමුව මහ වැව්ය.

අනවසර පදිංචිකරුවන් දිගින් දිගටම නීතියේ හිඩැස් තුළින් රිංගා යමින් තනිව හෝ කණ්ඩායම් වශයෙන් වැව්වල උඩගං බෑවුම් සහ යටි ගං බෑවුම්වල රක්ෂිත සීමාවන් ආක්‍රමණය කරමින් ඉමහත් විනාශයක් සිදු කරන බව මේ පිළිබඳව දිනමිණට කරුණු හෙළි කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අණපනත් සහ චක්‍රලේඛවල ඇති විධිවිධාන යටතේ මෙම අනවසර ඉදිකිරීම් සහ වගාවන් ඉවත් කිරීමට යාමේදී ඒ ඒ වැව්වල පවතින රක්ෂිත සීමාවන් පිළිබඳ නීත්‍යනුකූල මැනුමක් මඟින් සලකුණු කර ඇති වැව් රක්ෂිත සීමාවන් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා මෙම අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නීති මඟින් පියවර ගැනීමේදී ගැටලු ගණනාවකට මුහුණපෑමට සිදු වී ඇතැයි ද ඔහු පැවසීය. මෙම තත්ත්වය යටතේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාචික හා ලිඛිත උපදෙස් මත ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති මහා වාරිමාර්ග වැව් සියල්ල මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් මිනුම්ගත කර වැව්වල නීත්‍යනුකූල රක්ෂිත සීමාවන් සලකුණු කර මායිම් ගල් දැමීමට ඉහළම ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර ඇතැයි ජයන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය‍.

“දැනටමත් අනුරාධපුර දිසා ලේකම්වරයාට මේ පිළිබඳ ලිඛිත විස්තර ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවත් දැනුම්වත්කොට තිබෙනවා. ඒ අනුව නුවර වැව, තිසා වැව, අභය වැව, මහවිලච්චිය‍, මහකණදරාව, නාච්චාදූව, රාජාංගණය, අංගමුව, හුරුලු වැව, මානං කට්ටිය, පදවිය සහ තුරුවිල වැව් රක්ෂිත හැකි ඉක්මනින් මිනුම්ගත කොට රක්ෂිත සීමාවන් පෙන්වා දෙන ලෙසට මැනුම් නියෝගයක් අනුරාධපුර දිස්ත්‍රික් මිනින්දෝරු අධිකාරිවරයාට මැනුම් නියෝගයක් නිකුත් කරන ලෙසට දිසා ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නුවර වැව මහා වාරිමාර්ග ජලාශය නගර මැද පිහිටා තිබෙනවා. නගරවාසීන්ට ජලය සපයන්නේ නුවර වැවෙන්. එමෙන්ම මේ වනවිට යාන් ඔය‍, අන්ගමුව, මහකණදරාව, වැව් පාදක කර ගනිමින් පානීය ජලසම්පාදන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. නමුත් කනගාටුවට කරුණක් වන්නේ ඇතැම් රජයේ ආයතන මඟින් මෙම වැව් රක්ෂිතවල ඉඩම් සඳහා ද රජයේ ඔප්පු තිරප්පු, දීමනා පත්‍ර සහ බලපත්‍ර ලබා දී ඇති බව අනාවරණය වීමයි. නුවර වැව රක්ෂිතය උදාහරණයක් ලෙස ගත්තොත් 156 දෙනෙකුට ස්වර්ණ භූමි, ජය භූමි සහ රන් බිම රජයේ ප්‍රධාන පත්‍ර ලබා දී ඇති අතර 149 දෙනෙකුට ඉඩම් බලපත්‍ර ලබා දී තිබෙනවා.” ජයන්ත ද සිල්වා මහතා අවධාරණය කළේය.

මෙම සංඛ්‍යාවන් මීට වඩා බොහෝ වැඩිවිය හැකි බව ද සඳහන් කළ ඔහු තිසා වැවේ අනවසරකරුවන් 11ක්, මහකණදරාවේ පවුල් 25ක්, මහවිලච්චියේ පවුල් 15ක්, පදවියේ පවුල් 19ක්, වාහල්කඩ රක්ෂිතයේ පවුල් 161ක් හා රාජාංගණය රක්ෂිතයේ අනවසරයෙන් ඉඩම් අත්පත් කරගෙන සිටින බව ප්‍රකාශ කළේය. හුරුලු වැව හා නාච්චාදූව රක්ෂිතවලට අයිති ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් මැන, රක්ෂිතය හඳුනාගෙන මායිම් ගල් කිසිවක් දමා නැති නිසා කිසිදු නීතිමය මාර්ගයක් ගත නොහැකිව දෙපාර්තමේන්තුව අසරණ වී සිටිනවා.” හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

කෙසේ වෙතත් මෙවැනි තීරණාත්මක පසුබිමක් තුළ අනවසරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරුන්ට පවරා දී නැති බව වාර්තා වේ. අනවසරකරුවන් හඳුනාගත් පසු ඔවුන්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීම සඳහා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට යැවිය යුතුය. මේ නිසා වැව් රක්ෂිත අනවසරකරුවන්ගේ ග්‍රහණයෙන් මුදා ගැනීම අනවශ්‍ය ලෙස කල්ගතවන ක්‍රියාදාමයක් බවට ජ්‍යෙෂ්ඨ වාරිමාර්ග ඉංජිනේරුවරු කිහිපදෙනෙක් දිනමිණට අවධාරණය කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT