Friday, April 25, 2025
Home » පොලිස් මුරපොළක් ඉල්ලා දෙබරවැව වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක

පොලිස් මුරපොළක් ඉල්ලා දෙබරවැව වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක

by mahesh
April 25, 2025 1:00 am 0 comment

තිස්සමහරාම සමූහ අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු

දෙබරවැව මූලික රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලමින් වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල දෙබරවැව රෝහල ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඊයේ (24) විරෝධතාවක නිරත වූහ.

පසුගිය දින කිහිපය තුළ රෝහලට පැමිණි රෝගීන් හා රෝගීන් සමඟ පැමිණෙන බීමත් පුද්ගලයින් වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩල නිලධාරීන්ට බැණ තර්ජනය කිරීම හා පහරදීම යන කාරණා මුල් කරගෙන විරෝධතාව පැවැති අතර ඊට විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය, රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, ගිලන් රථ සේවකයින් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටීම විශේෂත්වයකි. විරෝධතාව අතරතුර මාධ්‍යයට අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තිස්සමහාරාම ලේකම් වෛද්‍ය තරිඳු මනරම් ද සිල්වා සඳහන් කළේ පහුගිය මාස කිහිපය පුරා දෙබරවැව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හා ඔවුන් සමඟ පැමිණෙන බීමත් පුද්ගලයින් රෝහලේ සේවය කරන සෞඛ්‍ය සේවකයින්ට පහරදීම, පරුෂ වචනයෙන් බැණ වැදීම හා මරණීය තර්ජනය කිරීම යන කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සේවය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. ඊට ආසන්නතම සිදුවීම ලෙස ඉකුත් 19 වැනිදා රාත්‍රී රෝගියකු වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට බැණ තර්ජනය කර ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරයාට පහරදී ඇති බවද සඳහන් කළේය. එම නිසා වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය ආරක්ෂාව තහවුරු කරමින් රෝහල තුළ පැය විසි හතර පුරා ක්‍රියාත්මක පොලිස් මුරපොළක් ලබාදී ආරක්‍ෂාව තහවුරු කරන දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසූ වෛද්‍යවරයා එය ඉදිරි දින කිහිපය තුළ ඉටු නොවුණහොත් වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද සඳහන් කළේය.

මේ පිළිබඳව තිස්සමහ­ාරාම පොලිස් ස්ථානාධිපති මනෝහර යසස් කුඩාගොඩගේ මහතාගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ වෛද්‍යවරයාට පහරදීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුදින තුනක් බන්ධනාගාරගත කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT