Friday, April 25, 2025
Home » දියණිය දණ ගැස්වූ බවට පියකුගෙන් පැමිණිල්ලක්

දියණිය දණ ගැස්වූ බවට පියකුගෙන් පැමිණිල්ලක්

by mahesh
April 25, 2025 1:00 am 0 comment

අනුරාධපුර සංචාරක - බී.ජී. චතුරංග

අසනීප තත්ත්වයක් හේතුවෙන් පාසල් ක්‍රීඩා කටයුතු සඳහා සහභාගි නොවී සිටි 6 ශ්‍රේණියේ පාසල් සිසුවියක්, පාසල් ගුරුවරියක විසින් උදෑසන සිට පාසල නිම වනතුරු අව්රශ්මිය මධ්‍යයේ දණ ගස්සවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මොරගොඬ පොලීසියේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි, කැකිරාව අධ්‍යාපන කලාපයේ පලුගස්වැව මඩවල විදුහලේ අධ්‍යාපනය ලබන 06 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

තම දියණිය පාසලේ ක්‍රීඩා කටයුත්තක් සඳහා අකැමැත්තක් දැක්වූවායි විදුහලේ විද්‍යාව විෂයභාර ගුරුතුමිය උදෑසන සිට සවස 1.30 දක්වා දණගැස්වූ බවට එම සිසුවියගේ පියා පොලිස් හදිසි ඇමතුම් අංකයට (119) කළ පැමිණිල්ලකට අනුව පොලීසිය මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

ඉකුත් 21 වැනිදා පාසලේ උදෑසන ආගමික වතාවත් සිදුකර උදෑසන ආහාරගෙන පාසලේ ක්‍රීඩාපිටිය වෙත ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පැමිණෙන ලෙස එම පාසලේ තවත් ගුරුවරයකු විසින් එම පාසලේ සිසු සිසුවියන් දැනුම්වත් කර ඇති අතර එවිට එම දරුවන් ක්‍රීඩාපිටිය වෙත ගිය බව මෙම සිදුවීමට මුහුණ දුන් දැරියගේ ප්‍රකාශවල සටහන් වේ.

ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි මෙම පාසලේ විද්‍යා විෂය භාර ගුරුතුමිය විසින් සිසුන්ගෙන් ක්‍රීඩාවලට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. එවිට සිසුන් කිහිපදෙනෙකු ක්‍රීඩා කිරීමට අකැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේදී, එසේ අකැමැති වූ සිසුන් සියලු දෙනා දණ ගසා සිටින ලෙස මෙම පාසලේ විද්‍යාව විෂය භාර ගුරුතුමිය අවවාද කළ බව මෙම දැරිය පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

මෙම දැරිය පාසල නිමවී තම නි‍ෙවසට පැමිණීමෙන් අනතුරුව, තම දණහිස වේදනාවක් ඇති බවට තම මිත්තණියට සහ පියාට පැවසීමෙන් අනතුරුව, මේ සම්බන්ධව මෙම දැරියගේ පියා විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඉකුත් 21 පස්වරුවේ පැමිණිලි කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් මොරගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්, සිසුවියගෙන්, මිත්තණියගෙන් සහ පියාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් එම පාසල් දැරියගේ මිත්තණිය පැවසුවේ, තම මිනිපිරිය අසනීප තත්ත්වයෙන් පෙළීම හේතුවෙන් ක්‍රීඩාවලට සම්බන්ධ නොවූ අවස්ථාවේදී මෙම අමානුෂික දඬුවම ලබා දී ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT