2025 ජනවාරි මස සිට මේ දක්වා රත්නපුර නගර සභා බල ප්‍රදේශය තුළ සිදු කළ ඩෙංගුවාහක වැඩිහිටි සුහුඹුල් මදුරු ඝනත්වය හා කීට ඝනත්වය ශීඝ්‍රයෙන් වැඩි වන බවට කීට විද්‍යා සමීක්ෂණ වාර්තා ලබා දී තිබියදීත් සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් මේ වනවිට රත්නපුරේ ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ ගොස් රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් සිදුවෙමින් පවතියි. රත්නපුර නගරයේත්, අවට ප්‍රදේශවලටත් ඩෙංගු රෝගය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ දැඩි කැලඹීමකට ලක්ව ඇත.
මේ වනවිට කඩින්කඩ පවතින අන්තර් මෝසම් වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන අතර, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ මෙය ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් ද මේ වනවිට මතුව ඇත.
රත්නපුර මහ නගර සභා බලප්‍රදේශය තුළ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවදානමක් ද මතුව ඇති බවට රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනූජ රොද්‍රිගෝ මහතා පැවසීය.
රත්නපුර රෝහල් පරිශ්‍රයට ආසන්නව මේ වනවිට ඉදිකෙෙරමින් පවතින සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨ ගොඩනැඟිලි පරිශ්‍රය තුළ ස්ථාන රැසක වතුර පිරී ඩෙංගු මදුරුවන් බෝවීමේ දැඩි අවදානමක් මතුව ඇති බැවින් පසුගියදා ගම්වාසීන් එක්ව ශ්‍රමදානයක් ද සංවිධානය කර එම අවදානම් ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීමට ද කටයුතු කර තිබිණි. මේ වනවිටත් එම ගොඩනැඟිලි සංකීර්ණයේ සේවය කරන සේවකයන් විශාල පිරිසක් ද ඩෙංගු රෝගයට ගොදුරුව ඇති බවට ද ඔවුන් රත්නපුරෙන් පිට ප්‍රදේශවල වාසය කරන අය බැවින් ඔවුන් හරහා අවට ප්‍රදේශවලටද ඩෙංගු ව්‍යාප්ත වීමේ අවදානම ඇතිව තිබේ.
මේ වනවිට රත්නපුර නගර සභා බලප්‍රදේශය තුළ තිබෙන පාසල් හා උපකාරක පන්තිවලට පැමිණෙන දහස් ගණනක් වූ සිසු දරු දැරියන් හා රජයේ හා පෞද්ගලික කාර්යාලවලට, වැඩබිම්වල ව්‍යාපාරික ස්ථානවල සේවය කරන පුද්ගලයන් හරහාත් පහුගිය අලුත් අවුරුදු උත්සව සමයේ සිට නගරයට පැමිණි විශාල ජනතාව හරහාත් අවට ප්‍රදේශවලටත් රත්නපුර නගරය හරහා කොළඹ වැනි දුර බැහැර ප්‍රදේශවල රැකියා සඳහා යන පුද්ගලයන් හරහාත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳව සෞඛ්‍ය අංශවල ඉහළ නිලධාරීන් මේ සම්බන්ධව කඩිනමින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බවටත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට මැතිවරණ රැස්වීම් සඳහා විශාල ජනතාවක් රත්නපුර නගරයට එක්රැස්වන බැවින් ඔවුන් ද මෙම අවදානමට ලක් විය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වන විට දින දෙකකට වරක් රත්නපුර රෝහල් පරිශ්‍රය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය මත අරඹා ඇත. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනූජ රොද්‍රිගෝ යන මහත්වරුන් පවසා සිටියේ රෝහල්ගත වන පිරිසගෙන් වැඩි ප්‍රමාණයක් රත්නපුර නගර සභා බලප්‍රදේශයෙන් හා කුරුවිට, බළන්ගොඩ, පැල්මඬුල්ල, ගොඩකවෙල ඇතුළු ප්‍රදේශවල ජනතාව බවය. එම ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමක් කරමින් ඔවුන් එම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විවිධ ස්ථානවල ජලය රැඳී මදුරු ඝනත්වය වැඩිවීමක් සිදු විය හැකි බවය. ඒ හේතුවෙන් ඩෙංගු රෝගයට වැඩි පිරිසක් ගොදුරු විය හැකි බැවින් අදාළ ස්ථාන සතියකට වතාවක් හෝ ශුද්ධ පවිත්‍ර කිරීමටත් කටයුතු කරන ලෙස වෛද්‍යවරුන් එම ප්‍ර දේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිති.