Home » කැලණි ගඟේ වැලි ගොඩදැමූ අය වෙනුවෙන් සභාව තුළ හඬ නඟනවා

කැලණි ගඟේ වැලි ගොඩදැමූ අය වෙනුවෙන් සභාව තුළ හඬ නඟනවා

බියගම ප්‍රාදේශීය සභා අපේක්ෂක - නිමල් රංජිත් (සජබ)

by mahesh
April 25, 2025 1:00 am 0 comment

මල්වාන සමූහ - මහානාම විතානගේ

දැනට කැලණි ගඟේ වැලි ගොඩ දැමීම රජය තහනම් කර ඇති බවත්, ඒ හේතුවෙන් මල්වාන, යබරලුව හා බියගම ආදී පෙදෙස්වල වැලි ගොඩ දැමීමෙන් තම ජීවිකාව කරගෙන ගිය විශාල පිරිසකට රැකියා අහිමි වී දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවත්, මෙවර තමා බියගම ප්‍රාදේශීය සභාවට පත්වුවහොත් පරිසරයට හානියක් නොවන පරිදි වැලි ගොඩදැමීමට අවසරය ඉල්ලා ප්‍රාදේශීය සභාව තුළ හඬක් නඟන බවත් බියගම ප්‍රාදේශීය සභා යබරලුව – උතුර / දකුණ කොට්ඨාස සමගි ජනබලවේගයේ අපේක්ෂක හා හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන නිමල් රංජිත් මහතා පැවසීය.

ඔහු තවදුරටත් මෙසේද කීය.

“මේ ප්‍රදේශවල බොහෝ දෙනකුගේ ජීවිකාව වුණේ කැලණි ගඟේ වැලි ගොඩදැමීමයි. ඒ තුළින් ඔවුන් කාටවත් අත නොපා ජීවත්වීම සඳහා ආදායමක් උපයා ගත්තා. නමුත් දැනට වසර ගණනාවකට ඉහත කැලණි ගඟේ වැලි ගොඩ දැමීම එවකට පැවැති රජය තහනම් කළා. ඒ නිසා වැලි ගොඩදැමීමෙන් ජීවත් වූ පිරිස දැන් අසරණ වෙලා. ඔවුන්ට යනඑන මං නැහැ. ඒ නිසා මා ප්‍රාදේශීය සභාවට පත් වීමෙන් පසුව ඔවුන් වෙනුවෙන් හඬක් නගා ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරනවා. මෙවර බියගම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාස වැඩි සංඛ්‍යාවක් අපි ජයග්‍රහණය කරනවා. එහිදි අපි විපක්ෂයේ සිටින සෙසු පක්ෂවල සහාය ලබාගෙන සමඟි ජනබලවේගය ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගන්නවා. ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජන්දය දුන් බහුතරයක් දැන් එම පක්ෂය ගැන කලකිරිලා. ඔවුන් නැවත සමඟි ජනබලවේගයට එකතු වෙමින් සිටිනවා. ඒ නිසා බියගම ප්‍රාදේශීය සභාවේ බලය අපට අනිවාර්යෙන්ම ලැබෙන බවට අප තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. මා යබරලුවට කළ සේවය වෙනත් කිසිම මන්ත්‍රීවරයකු කරලා නැහැ. ඒ නිසා යබරලුව ජනතාවගෙන් ජන්දය ඉල්ලන්නට මට සාධාරණ අයිතියක් තිබෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT