මැතිවරණයේදී තම පක්ෂය ජයග්‍රහණය කරන සියලුම පළාත් පාලන ආයතනවල ජන සහභාගීත්වයේ පරිපාලනය ක්‍රියාත්මක කිරීමට ප්‍රාදේශීය සභා සමිති ස්ථාපිත කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ හාලිඇල ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“අපේ පක්ෂයේ ජයග්රහණයෙන් පසු පළාත් පාලන පනත ක්‍රියාවට නඟනවා. පළාත් පාලන පනතේ නීතියක් තිබෙනවා, ජයග්රහණයෙන් පසු සමිතියක් ස්ථාපිත කළ යුතුයි කියලා. ප්‍රාදේශීය සභාවේ ඒ වසම් කරන මන්ත්‍රීවරුන් සභාවේ මාසික රැස්වීමට පෙර වසමේ සමිතිය කැඳවිය යුතුයි. ඉදිරි සභා වාරයේදී ගම වෙනුවෙන් කතා කළ යුතු කරුණු සහ සභාවට ඉදිරිපත් කළ යුතු යෝජනා ගැන ගමේ ජනතාවගෙන් අදහස් ගත යුතුයි. ගමේ සංවර්ධනය සම්බන්ධයෙන් ගමේ ජනතාව ගෙනෙන යෝජනාවලට ප්‍රමුඛතාව දී ඒ අනුව මන්ත්‍රීවරයා හෝ මන්ත්‍රීවරිය ප්‍රාදේශීය සභාවට එම යෝජනා ඉදිරිපත් කර ඉදිරි පියවර ගත යුතුයි. අදාළ වසමේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් වෙන්වන මුදල ඒ සඳහා යොදවන්න භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ප්‍රමාණය ඇතුළු සියලුම විස්තර මන්ත්‍රීවරයා වසමේ සමිතියට ලබා දිය යුතුයි. එය සිදු කිරීමට කොන්ත්‍රාත් පිරිනමනවා නම් ඒ සියල්ල තීරණය කරන්නේ සමිතියයි. මේ ව්‍යාපෘති අධීක්ෂණය කරන්න ගම්වාසීන්ට පුළුවන්. මෙතෙක් කලක් මේවා සිදු වූයේ අදාළ මන්ත්‍රීවරයාගේ වුවමනාවට. ඒ ක්‍රමය දැන් අවසන්. එනිසා ඉදිරියේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන සියලුම ප්‍රාදේශීය සභාවලට අයත් වසම්වල මේ සමිතිය ස්ථාපිත කරන්න අපි පියවර ගන්නවා.”