Home » ඡන්දය දුන් අයටත් ආණ්ඩුව එපා වෙලා

ඡන්දය දුන් අයටත් ආණ්ඩුව එපා වෙලා

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

රජයේ සේවකයන්ට තර්ජනය කරනවා වෙනුවට ගෙවුණු මාස හයේදී රටේ පාලනය සාර්ථක දැයි ආණ්ඩුව සිතා බැලිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂකයන් සඳහා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී ඊයේ (24) පැවති රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

“මාලිමාවට ඡන්දේ දීපු අයට දැන් ආණ්ඩුව එපා වෙලා තිබෙන්නේ. මේ රටේ ජන්දදායකයන් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරනවා. ආර්ථිකය කඩාවැටීමේදී ඔවුන්ට විසඳුමක් නොතිබූ නිසා මාලිමාව දිහා බැලුවා. ඒ අයටත් විසඳුමක් තිබුණේ නෑ. හැබැයි වැඩිය කෑගැහුවේ නෑ. ඒකෙන් බේරුණා. සජිත් ප්‍රේමදාස විසඳුමක් නැති වුණත් කෑගැහුවා. ඒකෙන් වැටුණා.

හිටපු ජනාධිපතිවරුන් ගැන කතා කරලා වැඩක් නෑ. කතා කළ යුත්තේ මාස හයකට පෙර පත් වූ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව ගැනයි. මේ මාස හයේදී මොනවද කළේ? මට දුන් මාස හයේදී මම පෝලිම් නැති කළා. අයිඑම්එෆ් මුදල් අරන් දුන්නා. මේ අය මොකද කරන්නේ?

සමහර අය කියනවා මේ ඡන්දෙත් මාලිමාව දිනනවා කියලා. ඡන්දේ නොදුන්නොත් ආයතනවලට මුදල් දෙන්නේ නෑ කියලා ජනාධිපතිතුමා කිවුවා. ඒ පැරදෙන කොට කියන කතාවක්. දිනනකොට කියන්නේ ඔබ දුන්න වරම තවත් ශක්තිමත් කරන්න කියලයි. අපි ඔය භාෂාව දන්නවා. මම අහන්නේ ඡන්දේ දුන්නත් දෙන්න සල්ලි තියෙනවද? දැන් අයිඑම්එෆ් අනුමත කර තිබෙන සල්ලි හැරුණාම තව තිබෙන සල්ලි මොනවද?

රජයේ සේවකයන් මාරු කරනවා කියලා තර්ජනය කර තිබෙනවා. හිතේ තිබූ දේ තැපැල් ඡන්දෙට කලින් කියූ එකට මා ස්තුතිවන්ත වෙනවා. රජයේ සේවකයන්ට ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව තිබෙනවා. ඒ අය ස්වාධීනව වැඩ කළ යුතුයි. ජේවීපී කියන විදිහට වැඩ කරන්න බෑ. මේ රජයේ සේවකයන් සමඟ තමයි මම ආණ්ඩුව භාර ගත්තේ. ඒ අය මා එක්ක වැඩ කළා. ඔවුන් මොන පක්ෂවල අය ද කියලා මම දන්නේ නෑ. ඒ අය යොදවා මිනිසුන්ට සහන දෙන්න මට පුළුවන් වුණා. මම වැටෙන්න තිබු ආණ්ඩුව ස්ථිර කරලයි ආපහු භාර දුන්නේ. රජයේ සේවකයන්ගෙන් වැඩ ගන්න දැන ගන්න ඕනෙ. සාර්ථක අසාර්ථක බව තීරණය වන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මතයි. අසාර්ථක නම් ඒ ආණ්ඩුවට හරි ප්‍රතිපත්ති නැති නිසයි. රජයේ සේවකයන්ට බණින්නේ ඇයි? මේ මාස හය තමන් සාර්ථක ද කියා බලන්න.

මේ මාස හයේ හොරු අල්ලන්න නඩු දැම්මලු. දූෂණ විරෝධී නීතිය ගෙනාවේ 2023දී මගේ ආණ්ඩුවෙන්. එය සකස් කළේ විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා. අයිඑම්එෆ් වැඩසටහන සකස් කළේ කවුද? ජාතික දූෂණ විරෝධී සැලැස්ම ගෙන ආවේ ඒ යටතේ.

අපරාධ මඟින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ කෙටුම්පත ගෙන ආවෙත් මගේ ආණ්ඩුවෙන්. දෙසැම්බර් මාසයට පෙර එය සම්මත කරන්න අප අයිඑම්එෆ් එකට පොරොන්දු වෙලා තිබුණා. නමුත් මේ ආණ්ඩුව දෙසැම්බර්වලදී එය සම්මත කළේ නෑ. අයිඑම්එෆ් කෑගැහුවට පසු සම්මත කරනවා. මේ අය කරන්නේ මම ආරම්භ කළ වැඩයි.

අස්වැසුම දෙන්න ලක්ෂ හතරක් ඉතුරු වුණා. ජනාධිපතිවරණයෙන් පසු මාස තුනෙන් එය අවසන් කරන බවට අප පොරොන්දු වුණා. ඒත් තවමත් කර නෑ. රජයේ ඇබෑර්තු විසිදහසක් අප ගිය අවුරුද්දේ සොයා ගත් ඒවා. මගේ වැඩසටහන් රජයේ සේවකයන් කළා නම්, ඔවුන් දැන් ඒවා කරන්නේ නැත්නම් වරද කාගේද?”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT