Home » අද ජනතාව ජීවත්වන්නේ රැකවරණයක් නැති රටක

අද ජනතාව ජීවත්වන්නේ රැකවරණයක් නැති රටක

by mahesh
April 25, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

අද ජනතාව ජීවත් වන්නේ රැකවරණයක් සහ ආරක්ෂාවක් නැති රටක බවත්, කැලෑ නීතිය රජ වී තරගයට මිනීමරාගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අගලවත්ත සහ ගාල්ල ප්‍රදේශවල පෙරේදා (23) පැවැති ජනහමු අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.

“අපරාධ කල්ලි, සංවිධානාත්මක කල්ලි සහ මැර කණ්ඩායම් සමාජය ගිලගෙන තිබෙනවා. නිවෙසට පැමිණ වෙඩි තියන තැනට රට පත්වෙලා. රට නිදහස්, නිවහල් දේශයක් වුණාට ජනතාවට කිසිදු නිදහසක් නෑ. හැමෝම බියෙන් ජීවත් වෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණු රජයට නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නෑ. දරුවන් ඉදිරියේ පවා මිනීමරන තැනට රට පත්ව තිබෙනවා. මිනීමැරීම සුපුරුදු දෙයක් බවට පත්වෙලා. මේවා ගැන ප්‍රශ්න කරනවිට මාලිමා ආණ්ඩුවට අනුව එය ජාතික ආරක්ෂාවට බලපාන්නේ නෑ කියා කියනවා.

මේ මිනීමරු සංස්කෘතිය නැති කරන්න රජයට වැඩපිළිවෙළක් සහ කොන්දක් නෑ. කාන්තාවන්, දූ දරුවන්, වෘත්තියවේදීන්, ව්‍යාපාරිකයන් මරනවා. මේ වනවිට මහ පාරේ තියා නිවෙසේවත් සිටිය නොහැකියි. ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුළුවන් කියූ ආණ්ඩුවට රටේ ජනතාව රැකගන්න හැකියාවක් නෑ.

සමාජයේ මහා භීෂණයක් පැතිරී ඇති මොහොතක ජනතාවගේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන අභියෝගවලට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඇති විසඳුම් දැනගැනීමට අපට අවශ්‍යයි. වර්තමාන ආණ්ඩුව බොරුවෙන් වාර්තා පිට වාර්තා තියලා තිබෙනවා. ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදී ද බොරු කියා දැන් ගමත් ඉල්ලනවා. සුබ නැකතින් රට අනුරට දීලා සෞභාග්‍යසම්පන්න රටක් හදනවා කිව්වත් කිසිවක් කර නෑ. රාජ්‍ය සේවකයන්, රැකියා විරහිත උපාධිධාරීන්, ගොවියන්, ධීවරයන් ඇතුළු සමස්ත ජනතාවම රවටලා.

‘පොහොසක් රටක් – ලස්සන ජීවිතයක්’ කියන පොරොන්දු මාලාව පිළිගනිමින් මැතිවරණ දෙකකදී මාලිමාවට බලය දුන්නා. මේ අය තුන්වැනි වතාවටත් බලය ඉල්ලන්න මෙතෙක් රටට කළ දේවල්වලින් කොතෙක්දුර ප්‍රගතියක් අත්කරගෙන තිබේදැයි සොයා බැලිය යුතුයි. පෙනෙන්නට ඇති ආකාරයට පොරොන්දු ඉටු කිරීම කෙසේ වෙතත් පොරොන්දු කඩ කර මෑතකාලයේ වැඩිම බොරු ප්‍රමාණයක් කියූ ආණ්ඩුව ලෙස මාලිමා ආණ්ඩුව ඉතිහාසගත වෙනවා.

සමාජවාදය, ධනවාදය, කොමියුනිස්ට්වාදය යනුවෙන් විවිධ දේශපාලන න්‍යායන් තිබුණත් මේ අය කට ඇරියොත් කියන්නේ බොරු. මුසාවාදය මේ අයගේ න්‍යායක් වෙලා. තෙල් මිල, විදුලි බිල ආදිය අඩු කරනවා කිව්වත් පොරොන්දු වූ ආකාරයට එවැනි දෙයක් සිදු වුණේ නෑ. මේ පච ආණ්ඩුව රැකියාවිරහිත උපාධිධාරීන්ට පළමු අය-වැයෙන් රැකියා දෙනවා කිව්වත් එයත් සිදු වුණේ නෑ. බඩු මිල, වැට් බදු ආදිය අඩු කරනවා කිව්වත් ඒ පොරොන්දුවත් අමුඅමුවේම උල්ලංඝනය කරලා.

රාජ්‍ය සේවක වැටුප 20,000කින් වැඩි කර මාස 6න් 6ට වැටුප් වැඩි කරනවා කිව්වත් එයත් ඉටු වෙලා නෑ. දුප්පත්කම තුරන් කිරීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියා පැවැසුවත් ඒකත් නෑ. බොරු කිය කියා ටොම් පචයා කියන ලේබලය ආණ්ඩුවට වැදුණාම මැතිවරණ නීති උල්ලංඝනය කර, මාලිමා පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන වෙන් කරන පක්ෂග්‍රාහී දේවල් කියනවා.

අපට වැඩ කරන්න ආණ්ඩුවේ සල්ලි ඕනෙ නෑ. අනික් පක්ෂවලට බලයක් නොමැතිව වැඩ කළ නොහැකි වුවත් ජනාධිපතිගේ ප්‍රතිපාදන තිබුණත් නැතත් සමගි ජන බලවේගයේ පළාත් පාලන ආයතන ජනතාවට සේවය කරනවා. එය ආණ්ඩුවට නවත්වන්න හැකියාවක් නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT