බලයට එන්න පෙර කියූ දේවල් ආණ්ඩුව ඉටුකර ඇති දැයි බැලීමට ජනතාවට භාර දෙමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වී වසර 32ක් සපිරීම වෙනුවෙන් කොළඹ රාජකීය මාවතේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම පෙරේදා (23) සිදු කෙරුණු අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ලලිත් ඇතුලත්මුදලි භාරකාර මණ්ඩලය විසින් මෙය සංවිධාන කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
“ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනයවී වසර 32ක් සපිරෙනවා. අද අපට එවැනි දක්ෂ දේශපාලනඥයන්ගේ හිඟයක් තිබෙනවා. ලලිත් ඇතුලත්මුදලි වැනි දේශපාලන නායකයන් නැතිවීම අද රටට දැනී තිබෙනවා.
අමෙරිකාවේ බදු ප්‍රශ්නයෙන් රැකීරක්ෂා සහ අපනයනය ආරක්ෂා කර ගත යුතුයි. ආණ්ඩුව කතා කිරීම නොව ක්‍රියාවෙන් ඒවා කර පෙන්විය යුතුයි. මේ වෙලාවේ අපි නිර්දේශපාලනීකරණය වී රට ගැන සිතිය යුතුයි. නිදහස ලැබ වසර 77ක් වුවත් රටට නිදහසක් ලැබී නෑ. අමෙරිකාව ගෙනාපු බදු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සියලුම පක්ෂ කැඳවා සර්වපාක්ෂික සමුළුවක් හැටියට තීරණ ගත්තා.
ආනයනය කළ වාහන සිරවී තිබෙනවා. මේවා එක පෑන් පහරින් විසඳිය හැකි දේවල්. රජයේ නිලධාරීන් නිසියාකාරව කටයුතු කළ යුතුයි. රජය අවසානයේ වගකිවයුතුයි. රටේ පරිපාලනය කඩා වැටීමේ ප්‍රතිවිපාක ජනතාවට විඳින්න වෙලා තිබෙනවා. ආණ්ඩුව කියූ දේවල් ඉටුවෙලා දැයි බලන්න අපි ජනතාවට භාර දෙමු. අපි මේ වෙලාවේ බලන්න ඕනෙ ඡන්ද ගැන නෙවෙයි, රට ගැනත් ජනතාවගේ ජීවන තත්ත්වය සැහැල්ලු කරන්නේ කොහොමද කියලත් හිතන්න ඕනෙ.”