Home » නිරායුධ පුද්ගලයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම රජයේ මූලික වගකීමක්

නිරායුධ පුද්ගලයන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම රජයේ මූලික වගකීමක්

by mahesh
April 25, 2025 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

කුමන දේශපාලන මතය දැරුවත් රටේ නිරායුධව සිටින පුද්ගලයන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කිරීම රජයක මූලික වගකීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (23) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“දේශපාලනයේ සිදු වන ඇතැම් සිදුවීම් පිළිබඳව සමගි ජන බලවේගයේ අදහසක් ප්‍රකාශ කිරීම වැදගත් වෙනවා. නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබමින් යන ගමන් මාර්ගය තවදුරටත් වැඩි වෙලා තිබෙනවා. සමාජය තුළ දේශපාලනික වශයෙන් කතාබහට භාජනය වූ පුද්ගලයෙක් වන ඩෑන් ප්‍රියසාද් කියන පුද්ගලයාවත් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. කෙසේ නමුත් ඩෑන් ප්‍රියසාද්ගේ දේශපාලන මතය සම්බන්ධයෙන් අපේ එකඟතාවක් නෑ. කුමන දේශපාලන මතය දැරුවත් රටේ නිරායුධව සිටින පුද්ගලයකුට ජීවත් වීමේ අයිතිය සහතික කිරීම තමයි රජයක මූලික වගකීම වෙන්නේ. එක කණ්ඩායමක ඡන්දයෙන් පත්වූ ආණ්ඩුව ඔවුන්ගේ කණ්ඩායම පමණක් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක, නිරායුධ සමාජයක ආයුධ දරන්න නීත්‍යානුකුල අයිතිය තිබෙන්නේ රජයේ යාන්ත්‍රණයට පමණයි. රජයේ ආයුධ දරන්න නීත්‍යනුකුල අයිතිය තිබෙන ආරක්ෂක අංශ ජනතාව ආරක්ෂා කරන්න ආණ්ඩුව විසින් මෙහෙය විය යුතුයි. එසේ නොමැති වුවහොත් ජනතාවගේ ජීවිත පිළිබඳව විශාල ගැටලුවක් ඇති වෙනවා. අපේ රට එවැනි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ගණනාවකට මුහුණ දුන් රටක්. 88,89 එවැනි තත්ත්වයක් රට තුළ ඇති වුණා. 2009දී රට තුළ එවැනි තත්ත්වයක් ඇති වෙලා නිමා වුණා. ඒ නිසා රටේ ජනතාවට නිදහසේ ගමන් කිරීමට තිබෙන අයිතිය ආරක්ෂා කරදීම ඒ මොහොතේ රටේ බලය ගෙන තිබෙන රජයේ වගකීම. ඒ වගකීමෙන් රජයට පලා යෑමට බෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිවැරදි තොරතුරු රටට ඉදිරිපත් කිරීම අවශ්‍යයි.

රජය ජනාධිපතිවරණයේදී, මහමැතිවරණයේදී විවිධ ස්ථාවර අරගෙන තිබෙනවා. නමුත් පළාත් පාලන මැතිවරණයේදී කොට්ඨාසය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් පුද්ගලයා මිසක හොඳටම ජනාධිපති ධුරය දරන්න පුළුවන් කාටද, හොඳටම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන්න පුළුවන් කාටද කියන දේ නෙවෙයි පළාත් පාලන මැතිවරණයේ ස්ථාවරය වන්නේ. සමගි ජන බලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන්න හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ කණ්ඩායම සංවාදශීලීව ජනතාව සමඟ හොඳින් ඉදිරියට යමින් ඉන්නවා. ඒ නිසා ජයග්‍රාහී මතයක් සමගි ජන බලවේගයට ලැබීමට නියමිතව තිබෙනවා.

රජය කියනවා මැයි මාසයේ සිට රාජ්‍ය සේවයේ දූෂණ සහ වංචා නැති කරනවා කියලා. එය අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. නමුත් මැතිවරණයක් ආසන්නයේ රාජ්‍ය සේවය බියට පත් කිරීම බුද්ධිමත් කටයුත්තක් නෙවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී හෝ මහමැතිවරණයේදී රාජ්‍ය සේවකයා දුන් ඡන්දය පළාත් පාලන මැතිවරණයට අදාළ වෙන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT