Home » මහින්දගේ විතරක් නෙවෙයි ජනතාවගේ ආරක්ෂාවත් අඩු වෙලා

මහින්දගේ විතරක් නෙවෙයි ජනතාවගේ ආරක්ෂාවත් අඩු වෙලා

සීගිරිය විශේෂ සහ උකුවෙල සංචාරක - ප්‍රියන්ත සුමනසේන

by mahesh
April 25, 2025 1:00 am 0 comment

88/ 89 භීෂණ සමය නොදැකපු තරුණ තරුණියන්ට මේ දිනවල රටේ සිදු වන ඝාතන රැල්ලෙන් එය දැක ගැනීමට හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ දඹුල්ල සහ මාතලේ ප්‍රදේශවල පෙරේදා (23) පැවති ජන රැලි අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

“අද අපේ පක්ෂයේ අපේක්ෂකයකුට වෙඩි තබා ඝාතනය කොට තවත් අපේක්ෂකයකුට පිහියෙන් ඇන තිබෙනවා. මේ අපරාධ කාගේ හෝ ඇඟ මත තබා ආණ්ඩුව අත පිසදා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. රටේ ආර්ථික තත්ත්වය මෙන්ම සංවර්ධනය අඩපණවී රටේ භීතිය සහ මැරකම හිස ඔසවා තිබෙනවා.

එදා අපි දළදා වහන්සේ වඳින්න යනකොට හිනා වුණු අය අද දළදා වහන්සේ වඳින එක පිළිබඳව සතුටු වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 159ක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතැන ඉතා හොඳ තරුණ පිරිසක් ඉන්නවා. අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණ, ඒ තරුණ දේශපාලනඥයන්ව බොරු කියවන්න, මඩ ගස්සන්න යොදා ගන්නවා. සැබෑ යථාර්ථය තේරුම් ගන්න දෙන්නේ නැතිව පක්ෂයේ අවශ්‍යතාව මත කිහිප දෙනකුට පමණක් තමන්ගේ දේශපාලන භූමිකාව නිර්මාණය කිරීමෙන් අනාගතය සම්පූර්ණයෙන් විනාශ කරනවා.

මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කළා. අදත් ලියුමක් එනවා තවදුරටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කරනවා කියලා. හැබැයි මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනවා කිව්වට දැන් රටේ මහජනතාවගේ ආරක්ෂාවත් අඩුවෙලා තියෙනවා.

පාස්කු දා ප්‍රහාරය පිළිබඳවත් ආණ්ඩුව සාධාරණය ඉටුකරන්නේ නෑ. පාස්කු දා ප්‍රහාරය යටගහන්නේ මේ ආණ්ඩුව ඇතුළෙන්මයි. පාස්කු දා ප්‍රහාරය සිදු වෙනකොට හිටපු නිලධාරීන් දැන් ඉන්නේ මේ ආණ්ඩුවේ ඉහළ තනතුරුවල.

මේ ආණ්ඩුව උපකල්පනය කරලා පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන, ඔවුන් වැරදිකරුවන් කරන්න යනවා. ඝාතන රැල්ලක් අද රටේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගෙදරට ඇවිල්ලා දරුවන් ඉදිරිපිට තාත්තා ඝාතනය කරන සංස්කෘතිය ඇවිත් තියෙනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT