“සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව හා සුභසාධනය උදෙසා නාවික හමුදාවේ සහාය අඛණ්ඩව ලබාදේ.
මහනුවර “සිරි දළදා වන්දනාව” සඳහා සම්බන්ධ වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ආරක්‍ෂාව සහ සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ අධීක්‍ෂණ සංචාරයක් සඳහා පෙරේදා (23) නාවික හමුදාපතිවරයා සහභාගී විය.
ඒ අනුව, “සිරි දළදා වන්දනාව” ආරම්භක අවස්ථාවේ සිට ඒ සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාව විශේෂ ආරක්‍ෂක හා සුභසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ, නුවර වැව පරිශ්‍රය වෙත මහජනතාවගේ හදිසි ප්‍රතිකාර අවශ්‍යතා සඳහා පහසුකම් සහිත විශේෂ වෛද්‍ය යාත්‍රාවක්, ජීවිතාරක්‍ෂක කණ්ඩායම්, කිමිදුම් කණ්ඩායම් සහ බැතිමතුන් රැඳී සිටින මාර්ග ආවරණය වන පරිදි බැති ගී කණ්ඩායම් නාවික හමුදාව විසින් අනුයුක්ත කර ඇත. එමෙන්ම, “සිරි දළදා වන්දනාව” සඳහා වැඩම කරනු ලබන ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් දානය පිළියෙල කිරීම සඳහා මෙන්ම, බැතිමතුන් වෙනුවෙන් පිසූ ආහාර ලබාදීම සඳහා ද නාවික හමුදාව සියලු පාර්ශ්වයන් හා එක්ව දායක වෙයි.
මෙම අධීක්‍ෂණ සංචාරයේදී “සිරි දළදා වන්දනාව” සඳහා සහභාගීවන බැතිමතුන් හට එම වන්දනාමාන කටයුතු පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙන අයුරින් නාවික හමුදා පුද්ගලයින් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදවීමට නිසි උපදෙස් ලබාදුන් නාවික හමුදාපතිවරයා, එම රාජකාරීන් සඳහා අනුයුක්ත නාවික හමුදා සාමාජිකයන්ගේ සුභසාධන පහසුකම් අධීක්‍ෂණය කිරීමද එහිදී සිදු කෙරිණි.