සිරි දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ලක්ෂ 4 1/2ක පමණ සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් මහනුවර නගරයට පැමිණ තිබෙන බැව් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසයි.
මෙසේ පැමිණෙන දැවැන්ත ජනකාය හේතුවෙන් ඇති වන ගැටලු වළක්වා ගැනීමට නැවත දැනුම් දෙනතුරු වන්දනාකරුවන් රැගත් වාහනවලට නගරයට ඇතුළු වීමට අවසර නොදෙන බව ද හෙතෙම කියයි.
මෙලෙස පැමිණි බස් රථ 32ක් ගැටඹේ ප්‍රදේශයේ දී පෙරේදා (23) රාත්‍රියේ නතර කළ බව ද ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවක දී ලලිත් පතිනායක මහතා මෙසේ ද පැවසුවේය. වන්දනාකරුවන් රැගෙන කුරුණෑගල දෙසින් එන බස් රථ මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයේදීත් දඹුල්ල දෙසින් එන වාහන අළුවිහාරේදීත් මහියංගණ දිගන මාර්ගයේ එන වාහන හසලක ප්‍රදේශයේදීත් හඟුරන්කෙත දෙසින් එන වාහන මයිලපිටියේදීත් ගම්පොළ දෙසින් එන වාහන වැලිගල්ලේදීත් කෑගල්ල දෙසින් එන වාහන මාවනැල්ලේදීත් නතර කිරීමට පොලීසියට දැනුම් දී තිබෙනවා. එම බස් රථවල පැමිණෙන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මඟින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඉතිරි දිනවලදී දළදා වහන්සේ වන්දනා කිරීමට ප්‍රමාණවත් ජන පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ තිබෙන බැවින් අලුතින් එන අයට එම අවස්ථාව ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තත්ත්වය කළමනාකරණය කර ගැනීමට හැකි වුවහොත් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට මහනුවරට පැමිණෙන ලෙස නැවත දැනුම් දීමක් කරනවා.
මැතිවරණ කාලසීමාවක් වුවත් පොලිස් නිලධාරීන් 10,000ක් හා යුද හමුදාවේ 6500ක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. සැදැහැවතුන් පෝලිම් කිරීම සඳහා සකස් කර තිබෙන බට වැටේ සීමාව ඉක්මවා කිලෝමීටර් 10ක් පමණ දුරට පෝලිම්වල ජනතාව රැඳී සිටිනවා. අද වනවිට පෝලිම්වල ලක්ෂ 4 ½ක් පමණ ඇතැයි ඇස්තමේන්තු කරනවා. ඊයේ දිනයේ වන්දනාකරුවන්ගේ පැමිණීම සීමා කරන්න සිදු වුණා. නගරයට තවදුරටත් ජනතාව පැමිණීම වැළැක්විය යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. විශාල ප්‍රදේශයක මහ ජනතාව එක්රැස් වීම මඟින් විවිධ වූ සමාජ හා සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතිනවා. ඉදිරි දින දෙකේ දී දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණින් මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දෙන්නේ ඒ නිසයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී අභයකෝන් මහතා මෙසේ පැවසුවේය. දළදා දැක්ම වෙනුවෙන් සංවිධාන කටයුතු සිදු කරන කණ්ඩායම දෛනිකව රැස්වී ඉදිරියේ දී ගත යුතු තීරණ සාකච්ඡා කරනවා. මේ වනවිට පවතින තත්ත්වය අනුව නගරයට තවත් ජනතාව ඇතුළුවීමෙන් අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙනවා. ආහාර හා පානීය ජල අවශ්‍යතා සපුරාලිය හැකි වුවත් සනීපාරක්ෂක පහසුකම් සැලසීම සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවිය හැකියි. මේ නිසා පවතින සැබෑ තත්ත්වය ජනතාවට දැනුම් දිය යුතු බවට කමිටුව තීරණය කළා. තවදුරටත් ජනතාව මහනුවරට ඇතුළු වුවහොත් විශාල තෙරපීමක් ඇතිවිය හැකියි. යුද හමුදාවේ 500ක පමණ පිරිසක් අලුතින් මහනුවරට කැඳවීමට ආරක්ෂක ලේකම් හා සාකච්ඡා කළා.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප- රුවන් මීගම්මන