Home » දේශපාලනඥයන්ගේ ලියුම්වලින් පාසල්වලට දරුවන් දැමූ කාලය අවසන්

දේශපාලනඥයන්ගේ ලියුම්වලින් පාසල්වලට දරුවන් දැමූ කාලය අවසන්

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය දොඩංගොඩදී කියයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

නුවන් කොඩිකාර, ගල්පාත චන්දන පෙරේරා

දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බවත් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් සිදු වන්නේ නම් අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.

දොඩංගොඩ ප්‍රදේශයේ ඉකුත්දා (22) පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

සමහර පළාත් පාලන ආයතන තිබෙන බව හෝ එම ආයතන සිදු කළ යුතු මෙහෙය පිළිබඳ ජනතාව දැනුම්වත් නැති බවත් ඊට හේතුව එවැනි ආයතනයක් තිබෙන බව දැන ගැනීමට හෝ සේවයක් සිදු වී නැති බවත් අගමැතිවරිය කීවාය.

අගමැතිවරිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

“තමන්ගේ සමාජය නිවැරදි කර ගන්න, එකඟතාව මත වැඩ කරගෙන යනකොට වැරදි හදාගන්න. ඒ ක්‍රමය වෙනස් කරන්න සංවිධානාත්මකව ජනතාව මැදිහත් වෙනවා. මේක තමයි බලාපොරොත්තු වූ වෙනස. මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. වෙනදා පොලීසියට පැමිණිල්ලක් දාන්න ගියාම අහන්න වෙන බැණුම් දැන් අහන්න වෙන්නේ නැහැ. සාවධානව ඇහුම්කන් දෙනවා. පැමිණිල්ල නිවැරදිව ලියා ගන්නවා. සුහදව කතා කරනවා මේක තමයි ජනතාව ඉල්ලන වෙනස.

මේ රටේ ජනතාවට තිබුණු ලොකුම කරදරය දරුවෙක් පාසලට ඇතුළත් කරන එක. මෙතෙක් කාලයක් පුරුද්දක් හැටියට ළමයි පාසලට දාගන්න දේශපාලනඥයන් ගාවට පෝලිමේ ආවා ලියුම් ගන්න. එහෙම තමයි දරුවන් පාසලට ඇතුළත් කළේ. ඒ ක්‍රමය අපි වෙනස් කළා. අද ජනතාව අපිට කියනවා ලිපියක් ඉල්ලන එක වැරදියි කියලා. අපි දන්නවා ඒ වැරැද්ද වෙනවා දකින්න කැමැති නෑ කියලා. ඒ එන ජනතාව දුක කියලා අඬනවා. සමහර කාරණාවලට මටත් ඇඬෙනවා. හැබැයි ඒ කිසි කෙනෙක් වැරදි වැඩක් කරන්න කියලා මට කියලා නැහැ. පෞද්ගලික දෙයක් වෙනුවෙන් දේශපාලනඥයන්ගෙන් වාසි බලාපොරොත්තු වෙන එක වැරදියි කියලා ජනතාවම කියනවා. ජනතාව අපි ළඟට ඇවිත් දුක කිවුවත්, ඇඬුවත්, දේශපාලනඥයන්ගෙන් උදවු ඉල්ලන්නේ නෑ කියන තරමට හැදිලා නම් අපි වෙනස් වෙලා නැද්ද? ජනතාව වෙනස් වෙලා නැද්ද? මේක තමයි මේ රටේ ජනතාව ඉල්ලපු දේ.

මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්තරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, ඇමැති මණ්ඩලය වගේම පළාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇති විය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුණොත් මේක කරන්න බැහැ.”

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන්, අපේක්ෂකයන් සහ පාක්ෂිකයෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT