පාකිස්තාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාට වහාම පිටවන්නැයි දැනුම් දෙයි
සංචාරකයන් 26කට ජීවිත අහිමි කරමින් ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීර් ප්‍රාන්තයේ පැහැල්ගම් මිටියාවත කේන්ද්‍ර කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය රජය නවදිල්ලි නුවර පාකිස්තාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාට වහාම රටින් පිටවන ලෙස දැනුම් දී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එම ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානය වක්‍රාකාරව සම්බන්ධ බවට චෝදනා කරමින් දේශසීමා ත්රස්තවාදයට සහාය දීම වහා අත්හැරිය යුතු යැයි ඉන්දියාව ඉල්ලීමක් කර ඇති බවත්, පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ඉදිරි සතිය ඇතුළත තවත් පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රකයන් කිහිපදෙනකු රටින් පිටුවහල් කිරීමට ඉන්දියාව පියවර ගනු ඇතැයි ද බීබීසී පුවත් සේවය සඳහන් කළේය.
ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ප්‍රධාන දේශසීමා මාර්ගය වසා දැමීම, ජල සම්පත් හුවමාරු කරගැනීමේ ගිවිසුම අත්හිටුවීම සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීම ඇතුළු පියවර රැසක් ඉන්දියාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බවත් වාර්තා වේ. ඉන්දියාවේ රැඳී සිටින පාකිස්තානුවන් සතුව තිබූ ඇතැම් වීසා බලපත් ද අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි ද, එම වීසා බලපත්ලාභීන්ට දින දෙකක් ඇතුළත රටින් පිටවීමට නියෝග කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මේ අතර පාකිස්තාන විදේශ අමාත්‍යාංශය කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ජීවිත අහිමිවූ සංචාරකයන් වෙනුවෙන් කනගාටු වන බව ද සඳහන් කර තිබේ.