Home » හඬක් නැති මිනිසුන්ගේ ජීවන අරගලය වාලම්පුරියෙන් ගේනවා

හඬක් නැති මිනිසුන්ගේ ජීවන අරගලය වාලම්පුරියෙන් ගේනවා

තිර රචනය සහ අධ්‍යක්ෂණය ලක්මාල් ධර්මරත්න

by mahesh
April 25, 2025 1:00 am 0 comment

“වාලම්පුරි හෙවත් හීන හත හමාරක්” ලක්මාල් ධර්මරත්නගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. මෙම සිනමා පටය අද (25) සිට දිවයින පුරා සියලු සිනමාහල්වල තිරගතවීම අරඹයි. අපේ මේ කතාබහ වාලම්පුරි තිර රචක සහ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න සමඟයි.

ඔබේ මේ කුලුඳුල් සිනමා ආගමනයට ප්‍රවිෂ්ටය සැකසෙන්නේ කොහොමද ?   

“මගේ ගමන ආරම්භ වන්නේ තුන්වැනි සහාය අධ්‍යක්‍ෂවරයෙක් විදිහටයි. ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම වගේ සිනමාකරුවන් සමඟ මම වැඩ කටයුතු කළා. 2013 දී “කූඹියෝ” ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඒ වගේම මගේ රැකියාවත් වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට සම්බන්ධයි. “කූඹියෝ” ටෙලි නාට්‍යය කරන්නත් පෙර සිටම මගේ අදහස වෙලා තිබුණේත් සිනමා පටයක් කරන්නයි. කොහොම හරි “කූඹියෝ” ටෙලි නාට්‍යයට නොසිතූ ප්‍රතිචාර ලැබුණා. එයින් මට හොඳ ගැම්මක් ලැබුණා. ඒකම මට පහසුවෙන් චිත්‍රපටයක් කරගන්න හොඳ මාර්ගයකුත් වුණා.”

වාලම්පුරියෙන් කියවෙන කතාවට පසුබිම සැකසෙන්නේ කොහොමද ?

“වාලම්පුරියට පාදක වන්නේ, අගනුවරට දුරබැහැර ගම්වල ඉපිද, අධ්‍යාපනය අතරමඟදී අතහැරී ජීවිතය ගැටගසා ගැනීමට අනේකවිධ කෙටි මාර්ග හොයන මිනිසුන් අට දෙනෙකුගේ කතාවක්. මේ අට දෙනාම කරන්නේ ජීවත්වීම සඳහා කුමක් හෝ තාවකාලික රැකියාවන්. සිඩ්නි, බාබර්, ස්වාමි, චරිත අතරට හමුවන පොලිස් නිලධාරි‍ෙයක් යන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඇති ඛේදවාචකයේ සංකේතීය ඉදිරිපත් කිරීමක් ලෙසයි. ඔහු රැකියාවෙන් උසස් වුණත් ජීවන අරගලයේදී නූගත් ගැමියන්ට සමාන්තරයි. ඉන්පසු ඔවුන් කොළඹදී හමුවෙන අක්කාට සෙට් වෙනවා. ඇය ධනවත් මිනිසකුගේ අනියම් බිරියක්ව හිඳ, ලිංගික, අලිංගික සියලු ශ්‍රමය වගුරුවන ජීවිතය ගැට ගසාගන්නා, විශාල ගෙයක ජීවත් වෙන, නමුත් ජීවන අරගලයේ දරුණුවට එරුණු ගැහැනියක්. මේ සියලු දෙනා සෙට් වෙන්නේ වාලම්පුරිය හෙවත් මුහුදු බෙල්ලෙක් කෙසේ හෝ කෝටි ගණනකට විකුණා තම ජීවිත සැප සතුට ළඟා කර ගැනීමටයි. ජීවත් වන අපායෙන් ගැලවීමට මොකක් හෝ කෙටි ක්‍රමයක් සොයමින්, නොයෙක් ඛේදවාචකවලට මුහුණ දෙන්නට මේ අයට සිදු වෙනවා. මේ තුන්වැනි පන්තියේ ඔබ නොඇසූ කතාව වාලම්පුරියෙන් ගෙන එනවා.”

ඔබ මෙවැනි කතා වස්තුවක් සිනමා පටයකට ගෙනාවේ ඇයි ?

“අපේ රටේ පසුගිය කාලයේ නිර්මාණය වූ බොහෝ චිත්‍රපට ඒකාකාරී තේමාවන් ඔස්සේ දිගහැරුණු ඒවා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරය සිනමා ශාලාවෙන් ඈත්වෙමින් තිබුණා. “වාලම්පුරිය” කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. මේක සමාජයේ බොහෝ දෙනෙකුට නොපෙනෙන ඒරියා එකක්. මගේ අරමුණත් ඒ නොපෙනෙන දේ පෙන්වීමයි. ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් නිර්මාණය කිරීමයි. මේ අපි ගෙවමින් ඉන්නෙත්, සමාජ – ආර්ථික සහ දේශපාලන වශයෙන් යම් පරිවර්තන යුගයකයි. අපි හැමෝම ජීවත් වෙන්නේ මෙවන් කෙටිමාර්ග ඔස්සේ ජීවත් වෙන්න දරන උත්සාහයකයි. හැමෝම කෙටිමාර්ග හදාගෙන ජීවිත ගොඩදාගන්න උත්සාහ කරනවා. ඒ වගේම මා දුටු හඬක් නැති මිනිස්සුන්ගේ අරගලය වර්ණවත් සිනමා පටවලට එක්කොට ලෝකයා හමුවේ තැබීම මගේ සිනමාවයි. මෙහි යම් යම් තැන් සත්‍ය කතාවට සම්බන්ධයි. එනිසා මේ නිර්මාණය සත්‍ය සිදුවීම් මත පදනම්ව ගොඩනඟන ලද නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. “වාලම්පුරිය” කියන එකත් එක්කම සම්බන්ධ අනෙක් කතාව තමයි, සොරකම් කිරීම.

වාලම්පුරියක් ළඟ තබා ගත්තාම වාසනාව ගේනවා කියන කාරණයත් එක්කයි ලෝකයේ මේ වගේ සිදුවීම් සිදුවෙන්නේ. වාලම්පුරියකට වටිනාකමක් තිබුණාට, එය මිලදී ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ. මේ යථාර්ථයත් අපි පෙන්නන්න උත්සාහ කරනවා.

නළු වරණයට ඔබ සලකා බැලූ විශේෂ සාධක මොනවාද ?

“තිර පිටපතට වඩාත් සාධාරණයක් ඉටු කළ හැකි, උපරිම දක්ෂතාවක් පෙන්වන අය තෝරාගන්නයි මම උත්සාහ කළේ. තුමිදු දොඩම්තැන්නත් ඒ චරිතයට මනාව ගැළපුණා. පිටපත ලියද්දී මේ චරිතයට වඩාත් සාධාරණයක් කළ හැක්කේ කවුද කියන එක අපි හිතුවා. ඒ අනුව ඉතා දක්ෂ කණ්ඩායමක් නළු නිළියන් වශයෙන් තෝරා ගන්න ලැබීම ගැන මට ඉමහත් සතුටක් තියෙනවා.”

ඉතා කටුක ජීවන අරගලවල ගැටෙන පිරිස් ඔබේ නිර්මාණවලට පසුබිම් වෙනවා. මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ කතා ඔබ නිර්මාණයට ඇලුම් කරන්නේ ඇයි ?

“ඔව්. මමත් කොළඹට කිලෝමීටර් දෙසීයක් පමණ ඈතක ගමක සිටයි ආවේ. මමත් ඉස්සෙල්ලාම කොළඹට ඇවිත් කොටුවේ බෝ ගහ ළඟින් බැස්සා. මේ සිනමා පටයෙත් කට්ටිය වාලම්පුරිය අරන් බහින්නේ මෙතැනටයි. සංකේත රූපය බෝ ගහයි. මගේ ජීවිත කාලයේ වැඩි හරියක්ම මම දැක්කේ ජීවන සටන ගෙනියන්න නොනවතින අරගලයක යෙදෙන ජීවිතයි. ඒ අයගේ මූලික අවශ්‍යතාවන්ට පහළින් විශාල පීඩනයක් තියෙනවා. මේ අය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඔවුන් නඩත්තු කරන්න රජය විශාල වියදමක් දරනවා. එයාලගෙන් සමාජයට වෙන අනතුරත්, සමාජයෙන් ඒ අයට වෙන අනතුරත් අවම කර ගන්නේ කොහොමද කියන එකයි මම මේ කතිකාවට බඳුන් කළේ. ඒ වගේම සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයාට කිසිදු අපහසුවකින් තොරව ඉතා ඉහළ රසවින්දනයක් තුළ මගේ කතාව ඒ අයත් එක්ක බෙදා හදා ගැනීම මගේ තවත් ඒක් අරමුණක්.”

ඔබ ඉලක්ක කරන ප්‍රේක්ෂකයා කවරෙක්ද ?

“අපි ඉලක්ක කරන්නෙ පොදු ප්‍රේක්ෂකයායි. අවුරුදු 15 ඉඳලා, ඉහළ වයස්වල සියලු අයට මම ආරාධනා කරනවා, පැමිණ මේ සිනමාපටය නරඹන්න කියලා.”

ඔබේ නිර්මාණ කණ්ඩායම දැක්වූ සහයෝගය ගැන කුමක් කිව හැකිද ?

ඇත්තටම මේ නිර්මාණය සැබෑ අයිතිකරුවෝ ඒ අයයි. කොවිඩ් නිසා නිර්මාණය ප්‍රමාද වෙනකොට අවුරුදු පහක් ඒ අය පුදුමාකාර ඉවසීමකින් බලා හිටියා. සරත් කොතලාවල සහෝදරයා අවුරුදු පහක් රැවුල නොකපා හිටියා. තාක්ෂණ නිලධාරින්, නළු නිළියන් පුදුමාකාර කැපවීමක් කළා. සිනමා පටය ඔසවා තබන්න ඒ අය කළ කැපවීම තමයි අපි මේ නිර්මාණයෙන් දකින්නේ. සිනමා ශාලා හිමියෝ ගත්තත් ඒ අය පුදුමාකාර ආදරයක් හා කැපකිරීමක් කරනවා. ඒ වගේම මේ ලස්සන කර්මාන්තය මේ තරමටවත් හෝ අල්ලාගෙන ඉන්න, එළියට නොපෙනෙන මිනිස්සු දහස් ගණනක් ඉන්නවා. මේ අය තමයි සිනමාවේ සැබෑ අයිතිකාරයෝ.

වාලම්පුරි විදේශ රටවලත් ප්‍රදර්ශනයට සූදානම්ද ?

අපි මේ වන විට ඔස්ට්‍රේලියාවේ මංගල දර්ශනය පැවැත්වූවා. එහිදී ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඊට සමගාමීව කොරියාව සහ එංගලන්තය ඇතුළුව තවත් රටවල් 15ක ලංකාවට සමගාමීව තිරගත වීමට නියමිතයි.

වාලම්පුරියේ නිෂ්පාදන දායකත්වය ගැන කතා කරමු ?

අපේ නිෂ්පාදකවරු දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කූඹියෝ නිෂ්පාදකවරයා අසංක දොඩම්තැන්න. අනිත් කෙනා ප්‍රදීප් පෙරේරා. මේ දෙදෙනා නිර්මාණයට සම්පූර්ණයෙන්ම සහයෝගය ලබා දුන්නා. මුදල් ලැබෙනවාට වඩා වැඩි දායකත්වයක් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කරන්න කියලා තමයි ඒ අය කිව්වේ. අසංකගෙන් සහ ප්‍රදීප්ගෙන් ලැබුණු සහයෝගය අති විශිෂ්ටයි. ඉහළ තත්ත්වයේ නිර්මාණයක් කියලා ප්‍රතිචාර ලැබුණේ මේ නිෂ්පාදකවරුන් දෙදෙනාගේ ඉවසීම සහ අවබෝධය නිසයි. ඒ වගේම ජනමාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යයෙනුත් ලැබුණු සහයෝගයත් අති විශිෂ්ටයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT