Friday, April 25, 2025
Home » ‘දුම්මල වරම’ විශේෂ දර්ශනයක්

‘දුම්මල වරම’ විශේෂ දර්ශනයක්

by mahesh
April 25, 2025 1:00 am 0 comment

රංජිත් ද අල්විස්ගේ ‘දුම්මල වරම’ වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනයක් අනිද්දා (27) සවස 7.00ට කඩවත, රාගම පාරේ චාල්ස් වීරසේකර ක්‍රීඩාංගණයේදී වේදිකාගත කෙරේ. විල්සන් ගුණරත්න ප්‍රමුඛ නළු නිළියන් රැසක් රංගනයට දායක වන මෙහි සංගීතය විශාරද එඩ්වඩ් ජයකොඩි විසිනි.


රොඩ්නි විදානපතිරණගෙන් අමෙරිකාවේ නිමල්ට ගීත දෙකක්

දැනට ඇමෙරිකාවේ පදිංචි ගායන ශිල්පී, නිමල් ගුණවර්ධන ගායනා කළ ගීත දෙකක් පසුගියදා කඳානේ නාවලගේ ශබ්දාගාරයේදී පටිගත කෙරිණ. මෙම ගීත රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී රොඩ්නි විදානපතිරණ විසිනි. තනු හා සංගීතය නිර්මාණය කරන ලද්දේ ‘සන්ෆ්ලවර්‘ කණ්ඩායමේ ජනප්‍රිය වාදක හා ගායක සුදත් නාවලගේ විසිනි.

වසර විසි ගණනකට පෙර මෝටර් රථ ධාවන ශූරයෙකු වූ නිමල්, අත්තනගල්ලේ අල්ගම මහා විද්‍යාලයෙන් සහ මීරිගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

අමෙරිකාවට පදිංචියට ගිය පසු ඔහු ගායනයට නැඹුරු විය. මෙම ගීත දෙකේ නාද ශික්ෂණය සුදත්ගේ සොහොයුරු ප්‍රියන්ත නාවලගේ විසිනි.


ඉන්ද්‍රජාලික පෙම්වතිය රුහුණ විශ්වවිද්‍යාලයේ දී

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය, සිනමා හා රූපවාහිනි අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරාධ සුබසිංහගේ රචනයක් හා අධ්‍යක්ෂණයක් වූ ඉන්ද්‍රජාලික පෙම්වතිය වේදිකා නාට්‍යය 29 වැනිදා සවස 03.30 ට සහ 06.30 ට රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ නව ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී වේදිකාගත වීමට නියමිතය. මෙම අවස්ථාව සංවිධානය කරනු ලබන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨ ශිෂ්‍ය සංගමයට අයත් හරිත හදගැස්ම සංගමය විසිනි.


විශේෂ සිනමා දැක්මක්

ZAHRADA (The Garden) 1995 චිත්‍රපටය මෙම මස 27 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී සවස 4.30 ට තිරගත කෙරේ.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ ආදි විද්‍යාථින්ගේ සංගමය මෙම විශේෂ සිනමා දැක්ම සංවිධානය කරනු ලබයි. මීට සමගාමීව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් ආරාධිත දේශනය පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ විමුක්ති රාජපක්ෂ විසිනි.


‘මලකි දුවේ නුඹ’ වැඩ නිමයි

කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ තෙවැනි සිනමා නිර්මාණය වන ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වී ඇත. මාලිනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශෙන්යා ෆොන්සේකා, ධනංජය සිරිවර්ධන සහ ප්‍රදීපා ධර්මදාස ආදීහු මෙහි චරිත නිරූපණය කරති. මාලනී ෆොන්සේකා තම පරම්පරා දෙකක් සමඟ එකට චිත්‍රපටයක රඟපාන ප්‍රථම අවස්ථාව මෙයයි. ‘මලකි දුවේ නුඹ’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය වෛද්‍ය ලක්ෂ්මන් මාකඳුර සහ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශගෙනි.


‘අමුතු දීගේ’ ජාතික රූපවාහිනියෙන්

ප්‍රවීණ ලේඛිකා ප්‍රසිලා ගොඩහේවා මහත්මියගේ “අමුතු දීගේ” නවකතාව ඇසුරින් මෙම ටෙලි සිත්තම නිර්මාණය වී ඇත. මෙහි ප්‍රධාන භූමිකාවන් වන විකුම්, ශාරදා සහ රවීන්ගේ තුන්කොන් ප්‍රේමය මෙම කතාවට වස්තුබීජය වී ඇත. සුහන්දි උපේත්මා, චානුක ප්‍රබුද්ධ, සංජය මුරමුදලි, පාලිත පෙරේරා, මීනා කුමාරි, ෆර්නි රෝෂිණී යන රංගනවේදීන් රංගනයෙන් දායක වේ. සතියේ දිනවල රාත්‍රී 7.30ට ජාතික රූපවාහිනියෙන් විකාශනය වේ.

මෙහි පිටපත ප්‍රමෝද්‍යා වන්නිආරච්චිගෙනි. අධ්‍යක්ෂණය චාමර පීරිස්ගෙනි.


අවසන් නොකළ දිනපොත එළිදකී

එම්. සෆීර්ගේ ඈන් ෆ්‍රෑන්ක්ගේ අවසන් නොකළ දිනපොත (වේදිකා නාට්‍ය පිටපත) එළිදැක්වීම සහ ඒ පිළිබද කතාබහක් මේ මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. එය කොළඹ 07, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 04ට සිදු කෙරේ. පීටර් හේමප්‍රිය බොතේජු පියතුමා, චූලානන්ද සමරනායක, තරුරසි ප්‍රනාන්දු, ජයනාත් බණ්ඩාර මෙහි කතාබහට එක්වීමට නියමිතය.


විශේෂ සාහිත්‍ය තරගාවලියක්

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ සාහිත්‍ය තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම තරගාවලිය සඳහා කෙටි කතා, ගීත රචනා, පද්‍ය රචනා, ළමා සාහිත්‍ය නිර්මාණ, චිත්‍ර නිර්මාණ, ඡායාරූප, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට යන තරග අංශ ඇතුළත් වේ.

නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2025 මැයි මස 15 වැනිදා වන අතර කෙටි නාට්‍ය සහ කෙටි චිත්‍රපට නිර්මාණ භාර ගන්නා අවසාන දිනය 2025 ජූනි 30 වැනිදා වේ.

ඔබගේ අයදුම්පත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, 8 වැනි මහල, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ හැකිය. වැඩි විස්තර සඳහා 0112861325 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ www.cultural.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.


රංගනය පිළිබඳ වැඩමුළුවක්

“රාජ්‍ය අඩවිය, සොඳුරු දඩයම, සමනල වසන්තය” වැනි සිනමා නිර්මාණ බිහිකළ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ප්‍රගීත් රත්නායක මහතා විසින් කලාවට ළැදිව කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නන්ට රංගනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය පිළිබඳ මාස හයක වැඩමුළුවක් සෑම ඉරු දිනකම උදේ 9.00 සිට සවස 4.00 දක්වා බොරැල්ල රුහුණු කලා ආයතනයේ නොමිලේ පවත්වනු ලැබේ.

මේ සඳහා සහභාගිවීමට කැමැති අයට බොරැල්ල රුහුණු කලා ආයතනයට පැමිණීමෙන් හෝ හැකිනම් 0712983728 මෙම දුරකතන අංකය මඟින් වැඩි විස්තර ලබාගත හැකියි.

ජයන්ති කුරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT