Home » පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පැතූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ

පාස්කු වින්දිතයන් වෙනුවෙන් යුක්තිය පැතූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප්වහන්සේ

by mahesh
April 25, 2025 1:02 am 0 comment

අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කතෝලික ප්‍රජාවගේ සංවේගය පළ කරමු. උන්වහන්සේ ලොව පුරා සිටින බිලියන 1.2ක් වූ කතෝලික ජනතාවට නායකත්වය දෙමින් සේවය සලසමින් ගත කළේ ඉතාම සරල ජීවිතයකි. එතුමා කතෝලිකයන්ට මෙන්ම ආගමික නායකයන්ටද විශිෂ්ට ආදර්ශවත් චරිතයකි.

වතිකානයේ නායකත්වයට පත් ශුද්ධෝත්තම පියතුමන්ලා පියවරින් පියවර වතිකානයේ බොහෝ දේ කාලානුරූපීව වෙනසකට භාජනය කළහ. එහිදී විසිතුන් වැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා දෙවැනි වතිකානු කතිකාවත ආරම්භ කළහ. මේ කතිකාවත තුළින් කතෝලික සභාව තුළ විශාල වෙනසක් ඇති කළහ. එක් එක් රටවල භාෂාව දහම තුළ භාවිත කිරීමට මේ නිසා අවස්ථාව ලැබුණි. ශුද්ධෝත්තම පියතුමා නායකයා ලෙස වතිකානයේම රැඳී සිටීම අනිවාර්ය වුවත් එය වෙනස් කරමින් දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා රට රටවල්වල සංචාරය ආරම්භ කළහ. මේ නිසා කතෝලික ආගමට පුළුල් වෙනස්කම් ඇති විය.

මානව දයාව

එසේම, ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා තවදුරටත් වතිකානයේ වෙනස්කම් ‌බොහොමයක් කළහ. ශුද්ධෝත්තම පියතුමා වෙනුවෙන් වතිකානයේ වෙන්වුණු මන්දිරයක් තිබේ. එහෙත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා කිසි දිනෙක එම මන්දිරය භාවිත නොකළ අතර, ඒ වෙනුවට පාවිච්චි කළේ කාදිනල්වරුන්ගේ නවාතැනේ එක් කාමරයකි.

තවද පාප්වහන්සේ තෝරාගැනීම සඳහා ඡන්දයක් පවත්වන අතර, එහිදී ඡන්දය ලබාදෙන්නට ලොව පුරා සිටින කාදිනල්වරුන් වතිකානයට පැමිණෙති. එසේ පැමිණෙන පිරිස සඳහා නවාතැන් ගැනීමට නේවාසිකාගාරයක් තිබේ. එම නේවාසිකාගාරයෙහි වෙන්කළ කාමරයකි ශුද්ධෝත්තම පියතුමා ජීවත්වීමට තෝරාගත්තේ. ආහාරපාන ගැනීම සිදුකළේද එම නේවාසිකාගාරයේ සිටින තැනැත්තන් සමඟිනි. මිනිසුන් අතරේ සිටීමට ඇති අවශ්‍යතාව නිසා එහි ජීවත්වන්නේ යැයි ශුද්ධෝත්තම පියතුමා නිහතමානීව පැවසූහ.

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම (මාධ්‍ය ප්‍රකාශක කොළඹ අගරදගුරු පදවිය)

සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියනම (මාධ්‍ය ප්‍රකාශක කොළඹ අගරදගුරු පදවිය)

‘මට මිනිසුන් නොමැතිව ජීවත් විය නොහැකියි. මම මිනිසුන් සමඟ ජීවත් වෙනවා’ උන්වහන්සේ වරක් පවසා තිබුණි. සැබැවින්ම උන්වහන්සේ මුළු ජීවිත කාලයේදීම හැකි තරම් මිනිසුන් අතර හිඳීමට උත්සාහ කළහ.

එසේම ශුද්ධෝත්තම පියතුමා එතුමන්ට ලබාදී තිබුණු සුවපහසු රථවාහන භාවිත කළේද නැත. ෆියට් වර්ගයේ කුඩා වාහනයක් භාවිත කළ අතර, රියැදුරා සමඟ ඉදිරි අසුනෙහි ගමන් කරන්නටත් පුරුදුව සිටියහ.

විදෙස් සංචාරවලදී උන්වහන්සේගේ ගමන්මල්ල සැමවිටම උන්වහන්සේ විසින්ම රැගෙන යනු ලැබූහ. එවැනි ගතිපැවතුම් පළමුවරට ශුද්ධෝත්තම පියතුමකුගෙන් දක්නට ලැබීම විශේෂත්වයකි.

මෙවැනි ඇවැතුම් පැවැතුම් සරල ලෙස පෙනුණත්, එම ක්‍රියාවන්වල තිබුණේ ආධ්‍යාත්මයෙන්ම අල්පේච්ඡව ජීවත්වීමේ අවශ්‍යතාවයි. උන්වහන්සේ දිළිඳුකම පිළිබඳ නිතරම කතා කළා පමණක් නොව දිළිඳුන් වෙනුවෙන් තිබෙන ‘දිළිඳු සභාවක්’ තිබිය යුතු වගටත් උන්වහන්සේ කිතුනු සභාවට පණිවුඩයක් දුන්හ.

දුප්පත්කම, දුප්පත් මිනිසුන්, අවශ්‍යතා තිබෙන අය සහ සංක්‍රමණිකයන් උන්වහන්සේගේ විශේෂ අවධානයකට ලක්වුණු පිරිසයි. සංක්‍රමණිකයන් පිළිබඳ උන්වහන්සේ නිතරම කතා කළහ. ඉතාලිය සංක්‍රමණිකයන් විශාල වශයෙන් සිටින රටකි. සංක්‍රමණිකයන් තමන්ගේ රටේ ජීවත්වන්නට නොහැකිව, වඩාත් හොඳින් ජීවත්වීමේ අරමුණ ඇතිව වෙනත් රටකට සංක්‍රමණය වුවත්, එම රටවලදී ඔවුන් පිළිබඳ දක්වන පිළිගැනීම සහ එරට භාරගන්නා ආකාරය ඉතාම දුෂ්කර විය හැකිය. එහෙත් ශුද්ධෝත්තම පියතුමන් එම සංක්‍රමණිකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් කතා කළහ. සංක්‍රමණිකයන්ද නැද්ද යන්නට වඩා ඔවුන්ද මිනිසුන් යැයි සලකන්නැයි එතුමා නිතරම පැවසූහ. කිසිවෙකුත් සමාජයෙන් කොන් නොකරන්නැයි ශුද්ධෝත්තම පියතුමා සැමට පැවසූහ. ක්‍රිස්තුස් වහන්සේ කියාදුන් දහමට අනුව කිසිවකුත් කොන් නොකළ අතර, එම මඟ ගනිමින් ශුද්ධෝත්තම පියතුමාද කුමන ආකාරයේ හෝ ජීවිතයක් ගත කළත් ඔවුන් සියල්ල මිනිසුන් ලෙස පිළිගන්නැයි පැවසූහ. උදාහරණයක් ලෙස සමලිංගිකයන් කතෝලික සභාව පිළිගන්නේ නැතත් ඒ මිනිසුන් පිළිබඳ විනිශ්චය ලබාදෙන්නට තමන් කවුදැයි උන්වහන්සේ විමසූහ. උන්වහන්සේ එවැනි පුළුල් මනසක් තිබුණු අයෙකි.

සභාව යනු ස්වාමින්වහන්සේලා, පැවිදි අය, බිෂොප්වරු සහ කන්‍යා සොයුරියන් පමණක් නොව ගිහි අයද එකට වූ පිරිසයි. එම ශුද්ධවූ සභාව දෙවියන් වහන්සේ වෙත යන වන්දනා ගමනක් වන අතර එම වන්දනා ගමන එකට එක්ව ‘සංගමනශීලි ගමනක්’ ය. මේ නිසා පැවිදි පූජක පිරිස සේම ගිහි පිරිසද සභාව තුළ ඉටුකළ යුතු වගකීම් තිබේ. ගිහි සහ පැවිදි පිරිසගේ ක්‍රියාවන් වෙනස් වුවත් සියලු දෙනාගේම අරමුණ එකක් වේ.

ක්‍රිස්තුස් වහන්සේ ඉපදී වසර 25න් 25ට ජුබිලි වර්ෂයක් ලෙස පිළිගැනේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදී 2025 වැනි ජුබිලි වසර අපි ගෙවමින් සිටිමු. මේ ජුබිලි වසරේදී ‘සංගමනශීලි ගමන’ යන සංකල්පය ශුද්ධෝත්තම පියතුමා ආරම්භ කළේය. ඒ සඳහා සමුළු සහ සම්මේලන උන්වහන්සේ විසින් පවත්වන ලදි. මේ සංගමනශීලී ගමන අවසන්වීමට නියමිතව තිබුණේ මේ වසරේ දෙසැම්බර් මාසයේදීය. උන්වහන්සේ ස්වර්ගස්ථ වුවත් උන්වහන්සේගේ චින්තනයෙන් බිහි වූ එම දර්ශනය ඉදිරියටත් ගමන් කරනු ඇත.

නිහතමානිත්වය

ඒ අනුව ද උන්වහන්සේට දර්ශනයක්, ජීවිත ආදර්ශයක් සහ ආධ්‍යාත්මයක් තිබුණු බව මෙවැනි ක්‍රියාවන් තුළින් පැහැදිලි වේ. නිහතමානී බව, දිළිඳු බව, ප්‍රේමය, කරුණාව උන්වහන්සේගේ දේශනවල, ලේඛනවල පමණක් නොව ජීවිතය තුළත් ඇති බව ලෝකයම දුටුවේය.

දකුණු සුඩානය යනු කතෝලික සභාවට විරුද්ධ දැඩි මතවාද දරන රටකි. එහෙත් එම රටේ පිරිසක් ශුද්ධෝත්තම පියතුමා හමුවීමට පැමිණි අවස්ථාවේදී එම පිරිසෙහි එක් එක් අය වෙත දණින් වැටී පාද සිඹීමට තරම් උන්වහන්සේ නිහතමානී වූහ. එය ආගන්තුකයන්ට ආචාර කිරීමේ පිළිවෙතක් විය.

උන්වහන්සේ ලෝකය පුරා සිරමැදිරිවල සිටින සිරකරුවන් හමුවිය. අනාථ නිවාසවල ජීවත්වන දරුවන් හමුවිය. දරුවන්ට ආදරය කරන්නැයි ලෝකයෙන් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දුන්හ. මහ බ්‍රහස්පතින්දා රාත්‍රි දිව්‍ය පූජාවේදී පල්ලියේ පියතුමා විසින් මීසම නියෝජනය කරන නියෝජිතයන් 12 දෙනෙකුගේ පාද දෝවනය කර පාද සිඹීමේ චාරිත්‍රය සිදු කරනු ලැබේ. මේ චාරිත්‍රය ශුද්ධෝත්තම පියතුමා එක් වතාවකදී සිදුකළේ සිරමැදිරියක සිටි සිරකරුවන් 12 දෙනෙකු වෙතය. උන්වහන්සේ රෝගාතුරව සිටියදී වුවත් මේ වසරේදීත් එම චාරිත්‍රය සිදු කළහ. අප කොතරම් නිහතමානී විය යුතුදැයි උන්වහන්සේ කතෝලිකයන් වෙත කියාදුන්නේ එවැනි උදාහරණවලිනි.

මෙහෙවර

සැබැවින්ම, ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ වූ අගනා ගුණාංග සිය ජීවිතයෙනුත් ආදර්ශවත් වන්නට ශුද්ධෝත්තම පියතුමා උත්සාහ කළහ. ආදර්ශවත්ව උන්වහන්සේ කතෝලික සභාවට ආධ්‍යාත්මික පෝෂණය දුන්හ.

උන්වහන්සේට මූලධර්මවාදීන්ගෙන් විරෝධතා තිබිණි. එහෙත් ඒ සියල්ලක්ම උන්වහන්සේ නිහඬව සහ නිහතමානීව පිළිගත්හ.

උන්වහන්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කළහ. ජුසේවාස් පියතුමා ශුද්ධත්වයට එසවීම ඉන් එකකි. පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රචාරය කරන ලද කතෝලික දහම ලන්දේසි සමයේදී තහනමට ලක්විය. සියලු පූජකයන් රටින් පිටුහල් කර කතෝලික ආගම ඇදහීම මරණයට හේතුවන තරමට තහනම් කෙරිණි. එම කාලයේදී ඉන්දියාවේ ගෝවේ සිට වෙස්වලාගෙන මන්නාරමට පැමිණ ජුසේවාස් පියතුමා මෙරට තැනින් තැන යමින් කතෝලික දහම නැවත වරක් පිහිටවනු ලැබීය. එදා රට මුහුණ දුන් විශාල නියඟය හමුවේත් ජුසේවාස් පියතුමා එම පෙළහර පෑහ. ඒ සද්ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි සිංහල රජුගෙන් රට තුළ කතෝලික ආගම පැතිරවීමට අවසර ලැබිණ.

මේ සේවය අගය කරමින් ජුසේවාස් පියතුමා ශුද්ධවරයට ඔසවන්නැයි වසර ගණනක් පුරා සභාව විසින් ඉල්ලීම් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස දෙවැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමා ශ්‍රී ලංකාව‌ට පැමිණ ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසවනු ලැබීය. එය දෙවැනි පියවර ලෙස සැලකේ. ඉන් පසුව ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ශ්‍රී ලංකාවට පැමිණ ජුසේවාස් මුනිතුමා ශුද්ධවරයට පත් කළහ. මෙය ඉතා වටිනා කාර්යයක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලිකයන් සලකනු ලැබේ.

උන්වහන්සේ පාස්කු බෝම්බ ප්‍රහාරයේදී පීඩාවට පත්වූවන් පිළිබඳ වේදනාවට පත්වූහ. ඔවුන්ට විශේෂ කරුණාවක් දැක්වූහ. කාදිනල් හිමිපාණන් ශුද්ධෝත්තම පියතුමා හමුවූ සෑම අවස්ථාවකදීම පාස්කු වින්දිතයන් පිළිබඳ කතා කළේ යැයි පැවැසූහ. එක් වතාවකදී පාස්කු වින්දිතයන් වතිකානයට ගෙන්වීමටත් ශුද්ධෝත්තම පියතුමා පියවර ගත්හ. දැඩි අසනීප තත්ත්වයක සිටියත් ශාන්ත පීතර බැසිලිකාවට ගෙන්වා ඔවුන්ව මුණගැසී ආශීර්වාද කිරීමට උන්වහන්සේ කාරුණික වූහ. එපමණක් නොව එම වින්දිතයන් වෙනුවෙන් සත්‍ය සොයා, යුක්තිය ඉටු කරන්නැයි ශ්‍රී ලංකා රජයෙන්ද ඉල්ලා සිටියහ.

මේ ක්‍රියාව නිසා උන්වහන්සේද අප සමඟ සිටින්නේය යන විශාල ශක්තිය කතෝලික ප්‍රජාවට ලැබුණි. සෑම අවස්ථාවකදීම පාස්කු ප්‍රහාරයට එරෙහිව උන්වහන්සේ විශ්ව නායකයකු ලෙස සත්‍ය සොයා යෑමේ ගමනට අපත් සමඟ සිටි උතුමකු වූහ.

පාස්කු ප්‍රහාරයට වසර හයක් ගතවන දින උන්වහන්සේගේ ස්වර්ගස්ථ වීම සිදුවිය. උන්වහන්සේ දෙවියන් වහන්සේත් සමඟ ස්වර්ග රාජ්‍යයේ ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. ස්වර්ග රාජ්‍යයේ සිට පාස්කු දින වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස අපි උන්වහන්සේගෙන් තවදුරටත් ඉල්ලා සිටිමු.

ඉරෝෂා දීපානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT