Friday, April 25, 2025
Home » ලක්දිව සිරි දළදා වන්දනාව

ලක්දිව සිරි දළදා වන්දනාව

by sachintha
April 25, 2025 1:00 am 0 comment

ජීවමාන ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ හා සම කොට සැලකෙන පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි පවත්වනු ලබන අනේකවිධ පූජා චාරිත්‍රයන් අතර කලට වැසි ලැබ, රටට සමෘද්ධිය, සෞභාග්‍යය, සමඟිය හා සමාදානය, මෙලොව යහපත හා පරලොව සග මොක් සුවය ප්‍රාර්ථනා කොට හුදී ජනයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කෙරෙන ආකාරයෙන් සිරි දළදා වන්දනා පූජා මහෝත්සව පැවැත්වීම අතීතයේ රජදවස පටන් පැවත ගෙන එන පූජා චාරිත්‍ර ධර්මයක් වන්නේ ය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහතෙරුන් වහන්සේට පින් සිදුවන්නට එම පූජා චාරිත්‍ර, තේවා විධි අදටත් සුරැකිව තිබීම ජාතියේ මහත් වාසනාවකි.

ලක්දිව දී සිරි දළදා වන්දනාව මහජනතාව උදෙසා ප්‍රථම වරට පැවැත්වූයේ අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස ක්‍රි.ව 310 වැන්නේ දී ය. ඒ අදට වසර එක්දහස් සත්සිය පහළොවකට පමණ පෙර ය.

දාඨා ධාතූ වංශය, දළදා සිරිත, මහාවංශය හා පාහියන්ගේ දේශාඨන වාර්තාව වැනි මූලාශ්‍රයන්ට අනුව කිත්සිරිමෙවන් රජු දවස අනුරපුර ගම් නියම් ගම් ජනපද නුවර වැසියෝ දළදා වහන්සේ අනුරපුර ඇතුළුනුවරට වැඩමවූ පුවත අසා බුදු ගුණ, බුදු සිරිත පසසමින් ලොවට හිත පිණිස, සුව පිණිස වැඩ සැදූ සර්වඥයන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ අපිද පිදූමට කැමැත්තෙමුයි කියා උද්ඝෝෂණ කළහ.

එවිට රජතුමා “අනුරපුර ආරාමවාසි භික්ෂූන් වහන්සේ වැඩමවා දළදා පිදීමේ කැමැත්තෙන් උකටලී ව රැස්වූ ජනයාගේ අදහස සැල කර සිටියේ ය. ඒ මහ සඟ මැද සිටි කුළුණු නුවණින් යුත් එක් තෙරුන් වහන්සේ නමක් රට වැසියන්ගේ හිතසුව, අභිවෘද්ධිය සලසන මහත්මා ගුණයෙන් සපිරි රජදරුවන් අනුගමනය කොට ළඟ එන වසන්ත කාලයෙහි දළදා වහන්සේ පිටතට වැඩමවා පින් කැමති ජනතාවගේ සග මොක් සුවය පතා සිරි දළදා වන්දනාවට අවස්ථාව සලසා දෙන්නැයි වදාළ සේක. එකී දළදා වන්දනා පූජෝත්සවයට කිනම් තැනක් සුදුසු දැයි රජතුමා පෙරළා විමසූ තැන සියලු නිකායන්හි භික්ෂූන් වහන්සේ තම තමන්ගේ විහාරයන් ඊට සුදුසු බව පළකොට තම තමන්ගේ විහාරස්ථාන සිරි දළදා වන්දනාව සඳහා යොදා ගන්නැයි ඉල්ලා සිටියහ.

මෙසේ සිරි දළදා වන්දනාව පැවැත්වෙන තැන සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වූයෙන් මැදහත් සිත් ඇති රජතුමා ජීවමාන බුදුරජාණන් වහන්සේ අභිමත තැනකට වැඩියාක් මෙන් දළදා වහන්සේ ද තමන් වහන්සේ කැමති තැනකට වඩිනු ඇතැයි සලකා නුවර සැරසීමට නියෝග කළේ ය. ඒ නියෝගයෙන් මහත් සතුටට පත්වූ ජනයා එපුර සියලු මාර්ග ඇමද, පිරිසුදු කර සුදුවැලි ඉස, රන් රිදී කලසින්, විසිතුරු තොරණින්, සුවඳමල් දමින් ධජ පතාක ආදියෙන් සරහා ඒ වග රජු වෙත දැන්වූහ. එවිට රජතුමා සේසත් යොදා සැරසූ සුදු අසුන් බැඳී, රියදුරු නැති අලංකාර රියෙක දළදා වහන්සේ වඩා හිඳුවා ඇත්, අස්, රිය, පාබල යන සිව්රඟ සෙනඟ සමඟ පංචතූර්ය නාදයෙන් හා සාධු නාදයෙන් අස්රිය පිටත් කර යැවීය. අස්රිය පිටත් වූ මඟ දෙපස සිටි එනුවර වැසියෝ නොයෙක් ආභරණයෙන් හා සුවඳ කුසුමින් පූජා කෙරෙද්දී, සව්සිරිබරණින් සැරසුණු රජතුමා නන්විධ පූජා පවත්වමින් රිය පසුපසින් ගමන් කළේ ය.

සුදු අසුන් යෙදූ රන් පැහැයෙන් යුත් එම උතුම් රිය වේගයෙන් ගමන් කොට නගරය පැදකුණු කොට ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට අභිමත වූ තැනකට වඩින්නාක් මෙන් විසිතුරු ව, අලංකාර ව සැරසූ ඒ මඟෙහි ගොස් මහමෙව්නා උයන්හි මිහිඳු මහරහතන් වහන්සේ දම් දෙසීමෙන් බැබළවූ ජෝතිය නම් නන්දන වනෝද්‍යානයෙහි නතර විය. බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය ජනයා ආභරණ ආදියෙන් පුදද්දී, සාධුකාර දී වඳිද්දී, මහානුභාව සම්පන්න, චන්ද්‍රයාට බඳු ශෝභා ඇති දළදා වහන්සේ රිදි පැහැයෙන් යුත් බුද්ධ රශ්මි මාලා විහිදුවා පෙළහර පෑ සේක.

මෙම අවස්ථාවේ දී සගමොක් සුවය පතන ජනතාවට සර්වඥයන් වහන්සේගේ උතුම් දළදා වහන්සේ විසිතුරු රුවන් කරඬුවෙන් පිටතට ගෙන දැක්වීය. එතැන් පටන් වාර්ෂික ව නව ලක්ෂයක් ධන විසඳා මහ පෙරහරින් අභයගිරි මහාවිහාරයට දළදා වහන්සේ වැඩමවා දින අනූවක් තිස්සේ බොහෝ දෙනාට සිරි දළදා වන්දනාව පැවැත්වීමට සලස්වා අනාගතයෙහි ද එසේ පූජා කරන ලෙස දළදා සිරිත් ලේඛනයක් ද ලියවා තැබීය. මෙම විචිත්‍ර දළදා පූජෝත්සවය සම්බන්ධයෙන් දාඨා වංශයේ එන විස්තර වර්ණනාවන්ට අමතර ව පාහියං චීන දේශාඨන වාර්තාකරු සිය දේශාඨන වාර්තාවෙහි දක්වා ඇති විස්තර වර්ණනාව ද අතිශයින් වැදගත් තැනක් ගනී. පාහියං පවසන අයුරු පෙරහර හා සිරි දළදා වන්දනාවට දස දිනකට පෙරාතුව විසිතුරු ව සැරසුණු රාජපුරුෂයකු ඇතකු පිට නංවා අණබෙර සමඟ නගරය පුරා යවා දස දිනකට පසුව දළදා වහන්සේ දළදා මැදුරෙන් පිටත අභයගිරි මහවෙහෙරට වැඩමවීමට නියමිත බවත්, මහමඟ හා නුවර සරසා දළදා වහන්සේ පිදීමට සැරසෙන ලෙසත් නිවේදනය කළ බව කියැවේ”.

පොළොන්නරුවේ රජ පැමිණි මහාපරාක්‍රමබාහු මහරජතුමා ගේ උපදෙසින් කීර්ති අධිකාරි හා භූතාධිකාරි යන සෙන්පතියන් සියලු බලසෙන් සමඟ එක්ව ගොස් රුහුණේ උරුවෙල් දනව්වේ සැඟව සිටි සුගලා රැජිණ පරදවා දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ ගෙන මංජු සෙනෙවි සමඟ රජු වෙත එවූ කල්හි රජතුමා ධාතු යුග්මය දැකීමට ලැබීම සිය ජීවිතයේ ලත් මහත් භාග්‍යයක් කොට සලකා අමාරස දහරින් නැහැවූවකු සේ සුවඳ පැනින් ස්නානය කොට පිරිසුදු වී විසිතුරු රාජාභරණයෙන් සැරසී පෙර ගමන් කළේ ය. තමන් වෙත වැඩම වූ ධාතු යුග්මය දැක ජීවමාන බුදුරජාණන් වහන්සේ දුටුවාක් මෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩී ගොස් නන්විධ රත්නයෙන් හා සුවඳ කුසුමින්, සුවඳ දූපයෙන් හා දැල්වූ පහනින් පිදීය. අනතුරුව රජතුමා දළදා වහන්සේ හිසින් දරාගෙන තමන් සමඟ පැමිණ සිටි සියල්ලන්ට ම ධාතුන් වහන්සේ සියැසින් දැක බලා වන්දනාමාන, පුද සත්කාර සිදුකිරීමට සැලැස්වීය. දළදා වහන්සේගේ උත්තරීතර ගුණ සමුදාය ප්‍රකාශ කෙරෙමින් අනෙක් සියල්ලන් ලවා ද නොයෙක් පූජාවන් පූජා කරවීය.

දඹදෙණිය රාජධානිය කොට ගත් තුන්වන විජයබාහු රජුට පසුව රජ වූ ඔහු පුත් දෙවන පරාක්‍රමබාහු ස්වකීය රාජ මන්දිරය සමීපයෙහි ම දන්ත ධාතු මන්දිරයක් කරවීය. ඉන්පසු දළදා මන්දිරයෙහි සිට මුළු පුරය අලංකාර ලෙස සරසා දළදා මහා පූජාවක් කොට දන්ත ධාතුන් වහන්සේ ස්වකීය හස්තය නමැති පද්මයේ තබාගෙන මහා සංඝයා වහන්සේ මධ්‍යයේ සත්‍යක්‍රියා කොට දෙමළ මාඝ, ජයබාහු ආදින් පරදවා, ලෝක ශාසනය නඟන්නට හැකි වේවා’යි, ප්‍රාර්ථනා කොට ප්‍රාතිහාර්යයක් දක්වන්නේ නම් මැනවැයි කියා සිතීය. එකණෙහි දන්ත ධාතුන් වහන්සේ හස්ත පද්මයෙන් අහසට පැන නැඟී බුදුරුවක් මවා සවණක් ගණ බුදුරැස් විහිදුවා සියලු පුරය බබළවා යළි රජතුමාගේ දෑතෙහි ම වැඩසිටි සේක. ධාතුන් වහන්සේගේ මෙම අද්භූත ප්‍රාතිහාර්යය දුටු මහජනයා ද සාධු නාදයෙන් පිදූහ.

සෙංකඩගල පුර රජ පැමිණි ශ්‍රී විජයරාජසිංහ රජතුමා “පිළිවෙලින් ඇතුළු කරඬුව හැර දන්ත ධාතුන් වහන්සේ දැක මහත් ප්‍රීතියට පැමිණ දළදා මාලිගාව දිව්‍ය විමානයක් සේ සරසවා, නගරය පිරිසුදු කරවා සකස් කොට සුදුවැලි ඉස දළදා මන්දිරය හා නගරය වටා තොරණ බැඳවීය. වියන් ද බඳවා නානා වර්ණයෙන් යුත් රෙදි කොඩිවලින් නගරය සැරසවීය. ලද පස්මල් ඉස නගරය විසිතුරු කළේ ය.

අනතුරුව රජතුමා රාජාභරණයෙන් සැරසී භික්ෂු සංඝයා ද, උපාසක උපාසිකාවන් ද, විදෙස් වැසියන් ද රැස් කරවා පසඟ පිහිටුවා දළදා වහන්සේ වැඳ හස්ත පද්මයෙහි තබා දළදා වහන්සේ වැඩමවා ගෙන සතුටු සිතින් දළදා මාළිගාවෙන් නික්මුණේ ය. රිදී කුඩයෙන් ද, රන් කරඬුවෙන් ද, සෙමර පෙළින් ද, නා නා විධ පුෂ්පයෙන් ද, මිණිමුතු ආදි ආභරණයෙන් ද, පංචතූර්ය නාදයෙන් ද පිටත මණ්ඩපයකට වැඩමවා තම හස්තය නමැති පද්මයට දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ වැඩමවා ගෙන සියලු දෙනාට දක්වා ප්‍රීති ප්‍රමෝදයට පත් කළේ ය. උතුම් දන්ත ධාතුන් වහන්සේ අවට සිටි ජන සමූහයාට ශ්‍රී දළදා වන්දනා කිරීමට සලස්වා යළි ගන්ධ කුටියට වැඩමවා තැන්පත් කළේ ය.”

අනතුරුව රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා විමලධර්මසූරිය රජතුමා විසින් කළ මහ කරඬුව රන් ආලේප කිරීමෙන් ද, මිණිමුතු බඳවා නිම කරවා එය ඇතුළත තැබීමට තවත් කරඬු දෙකක් කරවීමෙන් ද පසුව ලක්වැසියනට සිරි දළදා වන්දනාව පැවැත්වීමට කටයුතු සැලැස්වීය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ශ්‍රී ලංකාවට ස්‍යාමොපසම්පදාව වැඩම වූ උපාලි මහතෙරුන් වහන්සේ ඇතුළු පිරිස ද, ලක්දිව නවක සාමණේර ආදි සියලු භික්ෂූන් වහන්සේ ද රැස් කරවා නගරය දිව්‍ය විමානයක් සේ සරසා නොයෙක් පූජා වස්තුවෙන් ශ්‍රී දළදා වන්දනා පූජෝපහාර පැවැත්වීමට සැලැස්වීය.

රාජ්‍ය වර්ෂ 1818 දී ඇති වූ ඌවේ කැරැල්ල මාර්තු මාසය වනවිට සබරගමුව පහළ පෙදෙස, තුන්කෝරලය, සතර කෝරලය, උඩුනුවර යටිනුවර හැරුණු විට මුළු උඩරට ප්‍රදේශයේ ම වාගේ පැතිර ගියේ ය. කැරැල්ලේ උච්චතම අවස්ථාව එළඹියේ වාරියපොල ශ්‍රී සුමංගල අනුනාහිමි මහනුවර දළදා මාලිගාවෙන් අති උත්තම දළදා වහන්සේ සඟවාගෙන හේවායන් දෙදෙනකු මගින් කැරැල්ලේ නායක කැප්පෙටිපොල නිලමේ වෙත යැවීමෙනි. කැප්පෙටිපොල නිලමේතුමා හඟුරන්කෙත දී යුද බිමට රැස්ව සිටි මහ පිරිස අමතා කුරුණියක් පෙන්වා, මහනුවර සිට පැමිණි හේවායන් දෙදනකු විසින් එහි තුළ තැන්පත් කොට දළදා වහන්සේ ගෙනැවිත් ඇති බව දන්වා රැස්ව සිටි පිරිසට දළදා වහන්සේ දක්වා සටනේ ජයග්‍රහණය නියත බව ප්‍රකාශ කළේ ය. අවට රැස්ව සිටි මහ පිරිස සාධුකාරයෙන් ජයගෝෂා පැවැත්වූහ.

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් තුන්සිය දෙසැත්තෑ වැන්නෙහි වෙසක් මස පුර පසළොස්වක ලත් ගුරු දින හෙවත් කිතු වසින් එක්දාස් අටසිය විසි අටවැන්නේ මැයි මස විසිනව වන බ්‍රහස්පතින්දා ශ්‍රීමත් එඩ්වඩ් බාර්න්ස් ආණ්ඩුකාරතුමාගේ නිල කාලයෙහි දෙහිගම ලොකුබණ්ඩා දියවඩන නිලමේතුමා දියවඩන නිලය කරවන කාලයෙහි ශ්‍රී දන්ත ධාතු මන්දිරය අබියස මහමළුවේ දී අති උත්තම ශ්‍රී දළදා වහන්සේ අවසන් වරට ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙන් පිටතට වැඩමවා මහමළුවෙහි ගොඩනැඟුණු විසිතුරු මණ්ඩපයක රන් කරඬුව තැම්පත් කොට විවෘත කරවා, පළමුව ආණ්ඩුකාරයා ප්‍රමුඛ පිරිසට දක්වා, දින හතක් තිස්සේ සන්සුන් ව රිසි පරිදි මහජනතාවට වන්දනා කිරීමට අවකාශය සලසා දුන්හ. සත්දින අවසානයේ දළදා වහන්සේ නැවතත් රන් කරඬුව තුළ තැන්පත් කොට දළදා මාලිගාවේ වැඩ සිටින මාලිගාවේ උඩමාලයේ ගන්ධ කුටියේ තැන්පත් කරන ලදී.

සිරි දළදා වන්දනාව අවසානයේ ප්‍රාතිහාර්යයකින් මෙන් මහවැසි ඇදහැලී ඇලදොල පිරී මහා ගංවතුරක් ගැලූ බව පැවසේ. දළදා වතුර නමින් රචනා වූ කාව්‍යයෙන් මෙම ගංවතුර ගැන විස්තර කෙරේ. 1828 ට පසු යළි කිසිම විටෙක දළදා වහන්සේ දළදා මාලිගාවෙන් පිටතට වැඩමවීමක් සිදු නො වීය.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පාලකයන්ගේ පාලන සමයෙහි ද, නිදහස ලැබීමෙන් පසුව ද සුවිශේෂි අවස්ථා කීපයක දී ම ශ්‍රී දළදා වන්දනාව පවත්වා ඇත්තේ ය. ව්‍යවහාර වර්ෂ 1882 පෙබරවාරි 07 වන දින සිට 14 වන දින දක්වා මහජනතාව උදෙසා ද, මෑත ඉතිහාසයේ 1972 සහ 1978 යන වර්ෂයන්හි ද, 1991 මාර්තු 01 සිට 10 දක්වා ද, 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වා ද 2001 සැප්තැම්බර් 22 වන දින සිට ඔක්තෝම්බර් 07 වන දින දක්වා ද මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පවත්වා ඇත. එසේම 2004 අප්‍රේල් 17 සිට මැයි 01 දක්වා ස්‍යාමෝපසම්පදාව සිදුවී වසර 250 ක් සපිරීම නිමිත්තෙන් ද මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පැවැත්වූ බව අනාවරණය වේ.

අවසන් වරට වර්ෂ 2009 වැන්නේ මාර්තු මස 06 වන සිකුරාදා පටන් 14 වන සෙනසුරාදා දක්වා ලක්ෂ සංඛ්‍යාත සුවිශාල මහාජනකායක් මධ්‍යයේ මහත් උත්කර්ෂවත් ලෙස පැවැත් වූහ. ශ්‍රී දළදා වහන්සේ පියැවි ඇසින් දැකබලා බුද්ධාලම්බන ප්‍රීතිය හා ශ්‍රද්ධා භක්තිය ඇති කර ගැනීමට එවර ද මහනුවරට ඇදී ආ සුවිශාල ජනතාව වෙනත් කිසිදාක මහනුවර නගරයට ඇදී නො ආ තරම් ය.

සිරි දළදා වන්දනාව ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු ව තිබිණ. එම බරපතළ වගකීම සියලු අංශයන්ගේ සහභාගිත්වයෙන් මැනවින් සැලසී තිබුණේ ය.

දළදා වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව අරභයා දුරාතීතයේ දී රජ දරුවන්ගේ රාජකීය හමුදා ඛණ්ඩයන්ගේ සහාය නොඅඩුව ලැබුණු බව වංශ කථාවන්ගෙන් හෙළි වේ. පොළොන්නරු රාජ්‍ය සමයේ පළවෙනි විජයබාහු රජු දවස වේලයක්කාර කුලී හමුදාව යොදවා දළදා වහන්සේ, දළදා මන්දිරය, එහි සියලු දේපළ ඇතුළු නිලකරුවන්ගේ හා පැමිණෙන පිරිස්වල ආරක්ෂක කටයුතු සලසා තිබුණ බව වේලයක්කාර සෙල් ලිපියෙන් මනාව අනාවරණය වේ.

එවර අතිපූජනීය සිරි දළදා වන්දනාවේ සංවිධාන කාර්යයන්හි ඉතා සුවිශේෂ ලක්ෂණය වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සංවිධානය අනුව රැස්වන ජනී ජනයාට අවශ්‍ය පොදු පහසුකම් සියල්ල උපරිම ලෙස සලසා දීම යි.

ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර ගැනීමට පැමිණෙන බැතිමතුනට ශ්‍රී දළදා මාලිගාවට පිවිසීම සඳහා ප්‍රධාන පිවිසුම් දොරටු පහක් පිහිටුවා තිබුණේ ය. එම මං ඔස්සේ පොදි ගැසී, පේළි ගැසී ඇදී එන ජනතාවට අවු වැසි දෙකෙන් ආවරණය වීමට, ආවරණ යොදා තිබීම කාගේත් පැසසුමට ලක්විය. එවර ශ්‍රී දළදා වන්දනාව ඇරඹුණු මුල් දිනයේ පස්වරු 5.15 ට පමණ එතෙක් මහනුවර පැවති තද නියඟය කෙළවර කොට ඇදහැලුනු මහ වැස්ස දළදා ප්‍රාතිහාර්යයකින් සිදු වූවක් බව සියලු සැදැහැවතුන්ගේ පිළිගැනීම විය. මේ අසිරිය දුටු බැතිමතුන්ගේ සාධු නාදයෙන් අවට ගිගුම් දෙන්නට විය. අහස ගුගුරුවමින් ඇදහැලුනු වැසි දහර ජනතාවට ආශිර්වාදයක් බඳු විය. මෙම ධාරානිපාත වර්ෂාවෙන් ආවරණය වීමට බැතිමතුන් පේලී ගැසී සිටි මඟ ඔස්සේ යොදා තිබූ යටකී ආවරණ මහත් සේ පිටුවහලක් විය.

මෙවර වර්ෂ 2025 අප්‍රේල් මස 18 වන දින සිට ආරම්භ වන සිරි දළදා වන්දනාව අති උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැමට සෙත ශාන්තිය, සමෘද්ධිය, සෞභාග්‍ය, සමඟිය, සමාදානය, මෙලොව යහපත හා පරලොව සගමොක් සුවය සැලසීමේ අරමුණින් පැවැත්වේ.

මෙවර අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක බලා වන්දනා මාන, පූජෝපහාර දැක්වීමට මහජනතාවගේ ආරක්ෂාව සැලසීම සඳහාත්, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිය, පානීය ජල පහසුකම්, ආහාර පහසුකම්, වැස්සෙන් අව්වෙන් ආවරණය වීමේ පහසුකම් ආදී සුභ සාධන සේවා සැලසීම කෙරෙහි වෙනදාටත් වඩා උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා මාර්ගෝපදේශයන්ට අනුව දියවඩන නිලමේ තුමා විසින් ජනාධිපති තුමා ඇතුළු රජයේ පූර්ණ අනුග්‍රහය ඇතුව හා සැදැහැති බෞද්ධ සංවිධානයන්ගේ සහය ඇතුව කටයුතු සලසා තිබීම සැදැහැවතුන්ගේ සිත් පහන් කරවීමට හේතු සාධක වී ඇති බව පෙනේ.

එනිසා වසර 16 කට පසුව පැවැත්වෙන මෙවර සිරි දළදා වන්දනාවට විශාල ජන ගංගාවක් මහනුවරට ඇදී එතැයි අපේක්ෂා කරයි.

පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් එහි සියලු සංවිධාන කටයුතු අතිශයින් ම සාර්ථක වී දෙස් විදෙස් සැදැහැති බෞද්ධ ජනතාවට උතුම් දළදා වහන්සේ සියැසින් දැක බලා මහත් ආනිශංස ඇති කර ගැනීමට හැකි වේවා’යි ආශිංසනය කරමු.

කීර්ති ශ්‍රී ග්‍රන්ථ විශාරද

ධර්ම සාහිත්‍ය ශූරී

කේ. මීගහකුඹුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT