දළදා වහන්සේ වැඩ සිටින කරඬුවෙහි යතුරු දෙකක් අස්ගිරි මල්වතු උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දෙදෙනා වහන්සේ සන්තකයේ පවතින අතර, එහි එක් යතුරක් දියවඩන නිලමේ සන්තකයේ පවතී. එය දළදා වහන්සේගේ භාරකාරිත්වය පිළිබඳ සංකේතයක් පමණක් නොව ආරක්ෂාව සම්බන්ධ වූ වැදගත් පියවරකි
ශ්‍රී සම්බුද්ධ දේශිත අසූහාර දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී යටි දළදා වහන්සේගේ උරුමය ශ්‍රී ලංකාවට හිමි වන්නේ අනුරාධපුර යුගයේ රජකම් කළ කිත්සිරිමෙවන් රජ සමයේ දී හේමමාලා හා දන්ත කුමරු යන දෙදෙනා ව්සින් තත් දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමග ය.
එතැන් පටන් අද දක්වා ම රාජ රාජ මහාමාත්‍යයන්ගේ මෙන් ම දෙස් ව්දෙස් බොදුනුවන්ගේ ද අනේක විධ පුද පූජාවන්ට ලක් වෙමින් වර්තමානය දක්වා ජීවමාන බුදුන් ලෙස ශ්‍රී දළදා වහන්සේ සුරැකි ව පවතිනුයේ මහ සඟරුවනේ කැප කිරීමත්, රාජ්‍ය ආනුග්‍රහයත් නො අඩුව ලැබීම නිසා ය. හේමමාලා හා දන්ත කුමරු යන දෙදෙනා පළමුව ශ්‍රී දළදා වහන්සේ භාර කරනුයේ මේඝගිරි විහාරය නම් වූ ඉසුරුමුණි ව්හාර වැසි භික්ෂූන් වහන්සේ වෙත ය. එය ශ්‍රී දළදා වහන්සේගේ මහා ව්හාර සඟ පරපුරේ අයිතිය හඟවන්නක් බඳු වෙයි.
ඉන් අනතුරුව කිත්සිරිමෙවන් රජතුමන් විසින් ශ්‍රී දළදා වහන්සේ භාරගෙන සිහසුනෙහි තබා වන්දනා කොට රාජ්‍යත්වයෙන් පිදූ බවත්, රජ මාලිගය අසල ම ධර්මචක්‍ර පවත්තන නම් වු ව්ශේෂ මන්දිරයක් සකසා ආරක්ෂක විධිවිධාන සහිත ව එහි වඩා හිඳුවන ලද බවත් සඳහන් වෙයි.
මෙම සිද්ධි දාමය ඔස්සේ දළදා වහන්සේ රාජ්‍ය භාරකාරත්වයට පත් වූ ආකාරයත්, රාජ්‍ය ආරක්ෂාවට භාජනය වූ ආකාරයත් ප්‍රකට කරන අතර, ශ්‍රී දළදා වහන්සේ සිහසුනෙහි තබා පූජා කිරීමෙන් ශ්‍රී දළදා වහන්සේ ජාතික උරුමයක් බවට පත් වූ ආකාරය ප්‍රකට කරනු ලබයි.
ඉතිහාසය පුරාවට ම ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරිත්වය, රාජ්‍යත්වය තහවුරු කළ සාධකයක් බවට පත් වූ බැවින් රාජධානිය වෙනස් වීමත් සමග ම දළදා වහන්සේ ද රජධානියෙන් රාජධානියට මාරු වීම සිදු ව ඇත. ඒ බව ඓතිහාසික හා සාහිත්‍යාත්මක තොරතුරුවලින් පමණක් නොව පුරාවිද්‍යාත්මක සාධකවලින් ද තහවුරු ව ඇත.
සෑම රාජධානියක ම දළදා මාළිගයක් ඉදිව පැවතීමෙන් හා එකී දළදා වහන්සේ සඳහා වෙන් වූ පරිශ්‍රය රජ මාළිගය තුළ ම හෝ රජ මාලිගය ආසන්නයේ ම පැවතීමෙනුන් ප්‍රකට වන්නේ රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර කෙතරම් සමීප සබඳතාවක් පැවතුණේ ද යන්න යි. ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සීතාවක මහනුවර (සෙංකඩගල පුර) යන සෑම රාජධානියක ම දළදා මාළිගයක් දක්නට ලැබෙයි.
සෙංකඩගල පුරයට ශ්‍රී දළදා වහන්සේ වැඩම කරනු ලබන්නේ 1590 විමලධර්මසූරිය රජ සමයේ දී ය. එක් එක් රජ සමයන්හි දී ඇති වූ අනාරක්ෂිත තත්වයන් යටතේ රජමාලිගයෙන් බැහැර ව විවිධ ස්ථානවලට දළදා වහන්සේ රැගෙන ගොස් ශ්‍රී දළදා වහන්සේ සුරක්ෂා කිරීමට මහ සඟරුවන කටයුතු කළ ආකාරය ඉතිහාසගත ව ඇත. එවන් එක් අවස්ථාවක් ලෙස වාචිස්සර නම් වූ තෙරනමක් ප්‍රමුඛ මහතෙරුන් වහන්සේ පිරිසක් කාලිංග මාඝ ආක්‍රමණයෙන් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා සඟවා ගෙන කොත්මලයට වැඩම කොට එහි පර්වතයක පොළොව යට රහසිගත ව සුරක්ෂා කිරීමත්, නැවත දඹදෙණි යුගයේ දී බෙලිගල පර්වත මුදුනෙහි පර සතුරකුට ළඟා විය නො හැකි වන පරිද්දෙන් දළදා මාළිගයක් තනවා එහි ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කිරීමේ පුවතත් දැක්විය හැකි ය.
දළදා වහන්සේගේ භාරකාරිත්වය ශ්‍රී ලාංකික උරුමයක් ව වර්තමානය දක්වා ම පවතින අතර එහි ආගමික භාරකාරත්වය දීර්ඝ කාලයක් මහා විහාරයෙන් වෙන් වූ අභයගිරි පාර්ශවීය සඟ පරපුරට හිමි ව ඇත. ඒ අනුව එහි ප්‍රථම භාරකාරිත්වය උත්තරමූලවාසී භික්ෂූන් වෙත හිමි ව ඇත. පොළොන්නරු යුගයේ දී මොග්ගල්ලාන තෙරුන් වහන්සේගේ භාරකාරත්වයට පත්ව ඇත. මෑතක් වන තුරු ම එහි ගිහි භාරකාරත්වය හිමි ව ඇත්තේ රටේ පාලකායා වූ රජතුමාට ය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන්ගෙන් දළදා වහන්සේ බේරා ගැනීමට ද භික්ෂූන් වහන්සේ මහත් පරිශ්‍රමයකින් කටයුතු කොට ඇති බව ඉතිහාස ගත ව ඇත.
ඉංග්‍රීසි පාලකයන් ආරම්භයේ දී දළදා වහන්සේ හා බැඳී පෞරාණික චාරිත්‍ර එලෙසින් ම පවත්වා ගෙන යාම සඳහා මැදිහත් වීමක් සිදු කළ ද, රාජ්‍යත්වය සතු ව පැවති බලතල 1815 පමණ දී අස්ගිරි, මල්වතු උභය පාර්ශචිය මහානායක හිම්වරුන් වෙත අත පැන් වත් කොට පවරා දෙන බව පැවසෙයි.
ඒ සමඟ ම ශ්‍රී දළදා වහන්සේ සමග පැවති රාජ්‍ය සබඳතා ව ගිලිහී යන්නට විය. ඒ අනුව 1853 දී දළදා වහන්සේගේ භාරකාරිත්වය සඳහා අස්ගිරි, මල්වතු උභය මහා විහාරීය මහනායක හිමිවරුන් දෙදෙනා වහන්සේට ද, එහි ගිහි භාරකාරත්වය දියවඩන නිළමේතුමන්ට ද හිමි කර දී ඇත. එම නිසා ම දළදා වහන්සේ වැඩ සිටින කරඬුවෙහි යතුරු දෙකක් අස්ගිරි මල්වතු උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දෙදෙනා වහන්සේ සන්තකයේ පවතින අතර, එහි එක් යතුරක් දියවඩන නිළමේ සන්තකයේ පවතී. එය දළදා වහන්සේගේ භාරකාරිත්වය පිළිබඳ සංකේතයක් පමණක් නොව ආරක්ෂාව සම්බන්ධ වූ වැදගත් පියවරකි. ඒ අනුව දළදා ප්‍රදර්ශනයක දී මෙකී ත්‍රිවිධ පාර්ශවයේ ම එකඟතාව පැවතිය යුතු වෙයි.
ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය විසින් එහි ආරක්ෂාව පමණක් නොව බුද්ධෝපස්ථානයක් සේ සලකා තේවාවන් අඛණ්ඩ ව සිදු කළ යුතු අතර, ගිහි භාරකාරිත්වය ලෙස දියවඩන නිලමේතුමන් විසින් අවශ්‍ය පහසුකම් සැයපීමත්, එහි සම්පත් ආරක්ෂා කිරීමත්, සාම්ප්‍රදායික වත් පිළිවෙත් හා ක්‍රියාකාරිත්වයන් පවත්වා ගෙන යාමත් ආදි කොට ඇති පරිපාලන කටයුතු මැනවින් සිදූ කළ යුතු වෙයි.
ඉහත සඳහන් කළ අයුරින් දළදා වහන්සේ හා රජය අතර පැවති සෘජු සම්බන්ධතාව හෙවත් රාජ්‍ය භාරකාරත්වය ගිලිහීයාමක් සිදුව පැවතිය ද බලයට පත් වූ සෑම රාජ්‍ය නායකයකු විසින් ම ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කර ගනිමින් ආගමික කටයුතු සිදු කර ගනිමින් ආශිර්වාද ලබා ගැනීමත්, ශ්‍රී දළදා වහන්සේගේ සුරක්ෂාව හා ශ්‍රී දළදා මාලිගය ආශ්‍රිත සාම්ප්‍රදායික කරුණුවල දී ලබා දෙන රාජ්‍ය අනුග්‍රහයත් පැසසිය යුත්තේ වෙයි.
මහාචාර්ය
ගල්ලෑල්ලේ සුමනසිරි හිමි