Friday, April 25, 2025
Home » සිරි දළදා ගමන් මාලිගාව

සිරි දළදා ගමන් මාලිගාව

by sachintha
April 25, 2025 1:00 am 0 comment

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වය දීර්ඝ ඉතිහාසයක් ඇති සංඝ මූලස්ථානයකි. පූර්වයෙහි ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාගේ ආරණ්‍යයක් වූ අස්ගිරි මහා විහාරය ක්‍රි.ව. 1312 වැන්නේ වෙසක් මස මැදි පොහෝදා ආරම්භ විය.

දිඹුලාගල පරම්පරායානුගත ධර්මකීර්ති මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රමුඛ බොහෝ සංඝයා වහන්සේට මහ දන් පවත්වා ගෙඩිගේ විහාරය පූජා කළහ. ගෙඩිගේ විහාරය ප්‍රතිමා ගෘහය, බෝධින් වහන්සේ, සංඝාවාසය යන විහාර අංගයන්ගෙන් ස්ථාපිත වූයේ තුන්වන වික්‍රමබාහු රජ දවස බව පෙනේ.

ගෙඩිගේ විහාරය ග්‍රන්ථ ධුරය දරන භික්ෂූන් වහන්සේගේ මධ්‍යස්ථානය ලෙසින් දියුණු වූයේ ද මේ කාලයෙහි ය. අස්ගිරි විහාරය යන භාවිතයෙන් බොහෝ විට අදහස් කෙරුණේ වර්තමානයේ දී මහනුවර අස්ගිරි මහා විහාරයේ කොටසක් වශයෙන් සැලකෙන ගෙඩිගේ විහාරය (ආදාහන මළු විහාරය) බව සැලකේ.

ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරය සෙංකඩගල පුර රාජධානියෙහි ඉදිවී ඇති අලංකාර වූත්, මහර්ඝ වූත්, ශෛලමය ප්‍රතිමා ගෘහයකින් යුක්ත ය. පැරැණි දක්ෂ ගල් වඩුවන්ගේ හසල කුසලතාව මැනවින් විදහා දක්වන මෙම මනස්කාන්ත ගෙඩිගේ විහාරයෙහි ගල් පියස්සෙහි ඉහළින් පූජනීය කුඩා චෛත්‍යයක් ද පිහිටුවා තිබේ. මෙහි පියස්ස ගෝලාකාර හැඩයෙන් ගලින් ම නිමවා තිබීම සුවිශේෂී වේ. අදටත් දක්නට ලැබෙන ගලින් නෙළූ උළුවස්ස ද විසිතුරු කැටයමින් සමලංකෘත ය. එම ඇතුල් දොරටුවෙහි මධ්‍යයෙහි පිහිටා ඇති කිබිසි මුහුණවටා මනහර පලාපෙති හා ලියවැලින් විසිතුරු වූ ගල් කැටයමින් සැරසී ඇත. ඊට ඉහළ කොටස ද පලා පෙති, ගල් බිංදු හා ලියවැලින් සැරසී ඇත්තේ ය. එය අසල මනහර හංස රූප දෙකක් අල්ලා ගෙන සිටින විසිතුරු මිනිස් රූප දෙකකි. ප්‍රතිමා ගෘහයෙහි වඩා හිඳුවා ඇති වර්ණගැන් වූ ශෛලමය සමාධි ප්‍රතිමා වහන්සේ සමාධි සුවයෙන් දර්ශනීය මකර තොරණක් යට නිර්මාණය වී ඇත්තේ ය. එහි පොරවා ඇති සිවුර සිහින් දිය රැලි වැනි ව දිස්වේ.

දෙපස මකර තොරණ උසුලා සිටින බහිරව රූප දෙකකි. දොරටුපාලයන් ලෙස චාමර දෙකක් අතින් ගත් දේව රූප දෙකක් ද දිස්වේ. මෙම දොරටුපාල රූ දෙක ප්‍රතිමා ගෘහයෙහි ඇති ගාම්භීරත්වය මැනවින් විදහා දක්වයි. මෙහි වැඩ සිටින සමාධි පිළිම වහන්සේ ලක්දිව නිර්මිත පැරැණි සමාධි පිළිමයන් අතර සමාධි මුද්‍රාව විදහා දැක්වෙන, ශ්‍රද්ධා භක්තිය දනවන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වශයෙන් සැලකිය හැකි ය. ඊට අමතරව ඉහළ වියනෙහි ඇති නෙලුම් මලෙන් සැරසුනු ලියවැල් හා පලාපෙති මෝස්තර කැටයම් හෙළ කලාකරුවන්ගේ කුසලතාව හා මෙම ප්‍රතිමා ගෘහයෙහි මහේශාක්‍යභාවය ඉස්මතු කර දක්වයි.

පිළිමගෙය අභ්‍යන්තරය මනහර සිතුවමින් ද අලංකෘත ය. බිත්ති සූවිසි බුදුරජාණන් වහන්සේ හා වෙස්සන්තර ජාතකයේ අලි ඇතුන් දන් දීම, දරුවන් දන් දීම හා ජූජක බමුණා දරුවන් රැගෙන යාම වැනි අලංකාර සිතුවමින් විචිත්‍රවත් ව තිබේ. උඩ සීලිම උඩු වියනක් බඳු මෝස්තර රාශියකින් යුක්තය. එම මෝස්තර අතර මෛත්‍රී දිව්‍යරාජයා, විෂ්ණු දිව්‍යරාජයා, කොසොල් රජ, දීඝ ඇමැති, චංකී බ්‍රාහ්මණ, සොණ බ්‍රාහ්මණ සුභ නම් මානවක, තෝදෙය්‍ය බ්‍රාහ්මණ, නාලාගිරි ඇතා, පාරිලෙය්‍ය ඇතා වැනි විවිධ සිතුවමින් අලංකාර වී ඇත්තේ ය. ගල් උළුවස්ස ඉදිරි බිත්තියෙහි රජවරු දෙදෙනෙකුගේ සිතුවම් දෙකක් දිස්වේ. රජ රූප අතර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිතුවම ද දැක්වේ. එම ඉපැරැණි සිතුවම් ඒ අයුරින්ම අද දක්නට නො ලැබෙනුයේ විටින් විට සිදුකර ඇති පිළිසකර කිරීම් නිසාවෙනි.

මෙම විහාරස්ථානයෙහි පිහිටුවා ඇති පෝය සීමා ගල් කණු එකින් එකට වෙනස් වූ කැටයමින් අලංකාර ය. චන්ද්‍රවතී බෝධීන් වහන්සේ සැදැහැවතුනට සෙවණ දෙමින් අදටත් නිරුපද්‍රිත ව වැඩ සිටින්නාහ. මෑතක දී පිහිටුවනු ලැබූ සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන් වහන්සේ අනුස්මරණය කෙරෙන ස්මාරකය තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව තවදුරටත් තහවුරු කරනු ලබයි. ප්‍රතිමා ගෘහයට ඉදිරියෙන් දක්නට ලැබෙන දික්ගේ හෙවත් හේවිසි මණ්ඩපයෙහි ලී කණු මනහර කැටයමින් අලංකාර වී ඇත්තේ ය. හේවිසි මණ්ඩපයට ඉදිරියෙන් පිහිටා ඇති සංඝාරාමය මෑතක දී පිළිසකර කිරීමකට ලක් වී ඇත්තේ ය.

මෙම පුණ්‍ය භූමිය බොහෝ දෙනා විසින් ආදාහනමළු විහාරය ලෙස හඳුන්වා දෙයි. රාජකීයයන් ඇතුළු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහ තෙරුන් වහන්සේගේ ආදාහන කටයුතු මෙහිදී සිදු වී ඇත්තේ වී නමුදු ඒ සඳහා මෙම රාජමහා විහාරයට වෙන් කර තිබූ භූමිභාගයෙන් සැලකිය යුතු බිම් කොටසක් වෙනම ඉහත සඳහන් කළ අයගේ ආදාහන කටයුතු සඳහා වෙන් කොට තිබුණේ යැයි සලකා ගත හැකි ය.

පූජනීය විහාර සංකීර්ණය සඳහා පමණක් වෙන් වූ මළුවෙහි, ප්‍රතිමා ගෘහය, බෝධිය සහ සංඝාරාමය නිර්මාණය කළා විය යුතු ය.

පළමුවැනි විමලධර්මසූරිය රජතුමා විසින් කුරුවිට දෙල්ගමු රාජමහා විහාරයේ සිට රා.ව. 1592 වැන්නේ දී ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සෙංකඩගල පුරට වඩමවා, මුල් දිනයේ දී ශ්‍රී දළදා ගමන් මාලිගාවක් වශයෙන් ගෙඩිගේ රාජ මහාවිහාරය තෝරා ගැනීමට හේතුවී ඇත්තේත්, එවකට එහි පැවති පූජනීයත්වය හා පෞරාණිකත්වය යැයි බොහෝ දෙනාගේ අදහස යි.

එසේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන් වහන්සේ හා උභය මහාවිහාරයේ මහ තෙරුන් වහන්සේ කැඳවා සීමා සම්මත කොට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රථම උපෝසථාගාරය ස්ථාපනය කිරීමෙන් ද, අදටත් ඇසළ පෙරහරේ අවසන් මධ්‍යම රාත්‍රියේ දී සධාතුක පෙරහර කරඬුව එහි වඩා හිඳුවා පසුදා දවල් පෙරහරින් පෙරහර කරඬුව යළි ශ්‍රී දළදා මාලිගාව වෙත වැඩම වීමෙන් ද මෙහි ඇති පූජනීයත්වය හා සුවිශේෂත්වය වටහා ගත හැකි ය.

ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය හා සබැඳි චාරිත්‍ර සුවිශේෂී ය.

මධ්‍යම රාත්‍රියේ පෙරහර සධාතුක කරඬුව ගෙඩිගේ විහාරයට වැඩම වීමේ දී එය භාර ගැනීමට අස්ගිරි මහාවිහාරය පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ එම පාර්ශ්වයේ මහතෙරුන් වහන්සේ ගෙඩිගේ මහාවිහාරයට වැඩම කරවනු ලබන්නාහ. එසේම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ඇතුළු බස්නායක නිලමේවරු, ශ්‍රී දළදා මාලිගාවේ නිලකරුවන් හා පනික්කි මුරය ද එහි පැමිණෙති. මෙසේ වැඩම වූ දළදා වහන්සේ (වර්තමානයෙහි සධාතුක පෙරහර කරඬුව) ශ්‍රී දළදා මාලිගාව වෙත ආපසු වැඩම වනුයේ දවල් මහ පෙරහරත් සමඟ ය. වර්තමානයෙහි ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වැඩම වනුයේ ශ්‍රී දළදා වහන්සේ සංකේතවත් කරමිනි.

කුරුවිට දෙල්ගමු රාජමහා විහාරයේ සිට සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමේ දී රජ මාලිගාව ආසන්නයේ පිහිටුවා තිබූ ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමට පෙර, පළමු දින දළදා වහන්සේ තැන්පත් කර තිබුණේ ගෙඩිගේ රාජ මහා විහාරයේ බව අදටත් ප්‍රකට ව පවතී. එම නිසා ගෙඩිගේ රාජ මහා විහාරය ශ්‍රී දළදා ගමන් මාලිගාවක් ලෙස ද හැඳින්වේ.

අස්ගිරි මහාවිහාරයේ ආරම්භයේ සිට බලවත් ශාසනික හා ධර්ම ශාස්ත්‍රීය සේවාවක් ඉටු කළ ගෙඩිගේ රාජමහා විහාරය මෙම විහාර පාර්ශ්වයේ පැරැණිතම විහාරය වශයෙන් ඉතා වැදගත් තැනක් ගන්නා ඓතිහාසික වූත් පූජනීයත්වූත් රාජමහා විහාරයකි.

වේඬරුවේ ශ්‍රී උපාලි අනුනාහිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT