Home » දාඨා ප්‍රභාවෙන් ඒකාලෝක වූ සෙංකඩගල පුර ශ්‍රී විභූතිය

දාඨා ප්‍රභාවෙන් ඒකාලෝක වූ සෙංකඩගල පුර ශ්‍රී විභූතිය

by sachintha
April 25, 2025 1:00 am 0 comment

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත වූ මෙරට අවසාන රාජධානිය ‘ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය, උඩරට රාජධානිය, කන්දේ නුවර, කන්ද උඩරට’ යනාදි වූ විවිධ නම්වලින් හඳුන්වා දී තිබේ.

මෙරට අවසාන රාජධානියේ අගනුවර වූ මහනුවර නගරය ස්ථාපිත වූ ආකාරයත්, එහි ආරම්භක ඉතිහාසයත්, එයට ‘සෙංකඩගල’ යන නම ව්‍යවහාර වූ ආකාරයත් සම්බන්ධයෙන් ජනප්‍රවාද රැසක් පවතී.

කුරුණෑගල රාජධානියේ රාජප්‍රාප්ත හතර වැනි පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව.1302-1326) බෑනා කෙනකු වූ සිරිවර්ධන නමැති අයකු විසින් ක්‍රි.ව.1312 දී පමණ එවකට ‘කටුපුල්ලේ’ නමින් හැඳීන්වූ ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන ‘ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය’ නමින් නගරයක් ආරම්භ කොට ඇත. මෙම නගරයේ ආරම්භය සම්බන්ධයෙන් පවත්නා එක් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ එය ‘සෙංඛණ්ඩ’ නම් බ්‍රාහ්මණයකුගේ නමක් මූලික කර ගෙන ඉදි කර ඇති බව ය. තවත් ජනප්‍රවාදයකින් කියැවෙන්නේ එය ගම්පොළ රාජධානියේ රාජප්‍රාප්ත තෙවැනි වික්‍රමබාහු රජුගේ (ක්‍රි.ව.1359-1372) අගමෙහෙසිය වූ ‘සෙංඛණ්ඩා’ නම් දේවියගේ නමින් ඉදි කරන ලද බව ය. මේ සම්බන්ධයෙන් එන අනෙක් ජනප්‍රවාදයෙන් කියැවෙන්නේ ‘සෙංකඩගල’ නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොට ගෙන මේ නම නගරයට යෙදූ බව ය. මහනුවර නගරයේ ආරම්භය හා එයට ‘සෙංකඩගල’ යන නම ව්‍යවහාර වූයේ කවර පසුබිමක් මත ද යන්න මෙසේ පෙන්වාදිය හැකි ය.

‘සෙංකඩගල පුරවරය හෙවත් මහනුවර ප්‍රදේශය හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලනයට නතු වූ ප්‍රාදේශීය පාලන ඒකකයක් විය’ යන ඓතිහාසික වාර්තාවෙන් පැහැදිලි වනුයේ එහි දේශපාලන ඉතිහාසය කෝට්ටේ රාජධානි අවධිය තෙක් ඈතට ගමන් කරන බව ය. එතුමාගේ පාලන අවධියේ එවක මහනුවර ප්‍රදේශය ‘ජෝතිය’ නම් සිටුවරයෙක් යටතේ පාලනය වූ බවත්, පසුව ඔහු උඩරට ප්‍රදේශය කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කර ගැනීම සඳහා හයවන පරාක්‍රමබාහු රජුට විරුද්ධ ව කැරැල්ලක් ඇති කළ බවත් මූලාශ්‍රයේ සඳහන් ව ඇත. එහි සඳහන් විස්තරයන්ට අනුව එය අසාර්ථක වූ ප්‍රයත්නයකි.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ අභාවයෙන් පසුව කෝට්ටේ රාජධානියේ දේශපාලන බලය ක්‍රමයෙන් දුර්වල වන අතර එයින් ප්‍රයෝජනය ගත් ගම්පොළ රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරයෙක් (ක්‍රි.ව.1469-1511) කෝට්ටේ පාලන බලයෙන් උඩරට පාලන ප්‍රදේශය නිදහස් කර ගෙන, සෙංකඩගල නගරය කේන්ද්‍ර කර ගෙන, වෙන ම රාජධානියක් ස්ථාපිත කළේ ය. ඓතිහාසික මූලාශ්‍රය පෙන්වා දෙන ආකාරයට සෙංකඩගල රාජධානියේ පළමු පාලකයා වනුයේ සේනා සම්මත වික්‍රමබාහු රජතුමා ය. එතුමාගේ අභාවයෙන් පසුව එහි පාලන නායකත්වයට පත්වනුයේ ඔහු පුත් ජයවීර බණ්ඩාර ය.

මෙතුමා සෙංකඩගල පාලන නායකත්වයට පත්වන විට කෝට්ටේ රාජධානිය; කෝට්ටේ, සීතාවක හා රයිගම යනුවෙන් කොටස් තුනකට බෙදී පැවැතුණි. එම තත්ත්වය තම වාසියට හරවාගත් උඩරට පාලකයා තවදුරටත් ස්වාධීන ව කටයුතු කිරීමට පෙළඹුණේ ය. මේ ආදි වශයෙන් සිය දේශපාලන ගමන් මඟ ආරම්භ කරන මහනුවර රාජධානියට කේන්ද්‍රගත ව සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව.1469-1511), ජයවීර බණ්ඩාර (ක්‍රි.ව.1511-1551), කරල්ලියද්දේ බණ්ඩාර (ක්‍රි.ව.1551-1581), සීතාවක පළමු රාජසිංහ (ක්‍රි.ව. 1581-1591), පළමු විමලධර්මසූරිය (ක්‍රි.ව.1592-1604), සෙනරත් (ක්‍රි.ව.1604-1635), දෙවන රාජසිංහ (ක්‍රි.ව.1635-1687), දෙවන විමලධර්මසූරිය (ක්‍රි.ව.1687-1707), ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව.1707-1739), ශ්‍රී විජය රාජසිංහ (ක්‍රි.ව.1739-1747), කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව.1747-1781), රාජාධිරාජසිංහ (ක්‍රි.ව.1781- 1798), ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1798-1815) යනාදි වශයෙන් පාලකයන් දහතුන් දෙනකු පාලන නායකත්වයට පත්ව තිබේ.

මහනුවර ශ්‍රී දළදා මන්දිරය

ශ්‍රී දළදා මන්දිරය නමින් හඳුන්වනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්තධාතුන් වහන්සේ තැන්පත් කරමින් ඉදි කර ඇති මාලිගාවයි. මහසෙන් රජතුමාගේ පුත් කිත්සිරිමෙවන් රජදවස (ක්‍රි.ව.301-328) එනම් එතුමාගේ රාජ්‍යත්වයෙන් නව වැනි වර්ෂයේ දී කාලිංග දේශවැසි හේමමාලා හා දන්ත කුමරුවන් විසින් මෙරටට වැඩමවා ගෙන ආ වාම දන්ත ධාතූන් වහන්සේ වෙනුවෙන් මෙරට රාජප්‍රාප්ත පාලකයන් ගණනාවක් විසින් වරින් වර දළදා මන්දිර ඉදිකරමින්, ඒ සඳහා විවිධාකාර වූ පුද පූජා පවත්වමින් දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලදී. වර්තමානයේ දළදා වහන්සේ වෙනුවෙන් ඉදි කර ඇති දළදා මන්දිරය මහනුවර නගරයට කේන්ද්‍රගත ව ස්ථාපිත වී ඇති අතර, එය එවකට රාජකීය මාළිගා සංකීර්ණය තුළ ම ඉදි වූ ආකාරයක් දැක ගත හැකි ය.

මහනුවර රාජධානියේ රාජ මාළිගා සංකීර්ණය ආශ්‍රය කර ගෙන ඉදි වූ ශ්‍රී දළදා මාළිගාව මුල්වරට ගොඩනඟන ලද්දේ පළමු වන විමලධර්මසූරිය (ක්‍රි.ව.1592-1604) රජතුමා විසිනි. එතුමා විසින් ඉදිකරවන ලද දළදා මන්දිරය පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් විනාශ කළ බව පැවසේ.

අනතුරුව එම දළදා මාළිගාව පිහිටා තිබූ ස්ථානයේ ම දෙවන රාජසිංහ රජතුමා විසින් (ක්‍රි.ව.1635-1687) මහනුවර දෙවන දළදා මාළිගාව ඉදිකරවන ලදී. එය ද ලන්දේසීන් විසින් දවා අළු කර විනාශ කළ බව පැවසෙන අතර අනතුරුව රාජප්‍රාප්ත දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ වූ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා, දළදා වහන්සේ එහි තැන්පත් කොට, විවිධාකාර වූ පුද පූජා සත්කාරාදිය සිදු කළ බව ඉතිහාසය තුළ සඳහන් ව ඇත. එතුමා විසින් ඉදිකරන ලද දළදා මන්දිරය ටික කලකින් දිරාපත් ව විනාශ වූ බැවින් ඔහු පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව.1707-1739) රජතුමා විසින් වර්තමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාළිගාව ඉදි කරවන ලදී.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට පසුව සෙංකඩගල රාජධානියේ රාජප්‍රාප්ත නායක්කර්වංශික ද්‍රවිඩ පාලකයන් විසින් ද නරේන්ද්‍රසිංහ රජතුමා විසින් කරවන ලද ශ්‍රී දළදා මන්දිරය ප්‍රතිසංස්කරණය කරවමින් දළදා වහන්සේ ආරක්‍ෂා කරලීමට කටයුතු කරන ලදී. වර්තමානයේ දක්නට ලැබෙන ආකාරයට ශ්‍රී දළදා මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු මැනවින් කරවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ (ක්‍රි.ව.1747-1781) රජතුමා ය.

මහනුවර දළදා මන්දිරයට එක් වූ නවාංගයක් වන ‘අටාසු’ ගොඩනැඟිල්ල හෙවත් ‘පත්තිරිප්පුව’ ඉදිකරවන ලද්දේ මහනුවර රාජධානියේ අවසාන පාලකයන් වශයෙන් සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව.1789-1815) රජතුමා විසිනි.

ඉහත පෙන්වා දුන් ආකාරයට මෙරට අවසාන රාජධානිය ලෙස සැලකෙන සෙංකඩගල හෙවත් මහනුවර රාජධානියේ අගනුවර වන මහනුවර නගරයට කේන්ද්‍රගත ව පැරැණි රාජ මාළිගා සංකීර්ණය තුළ ම ස්ථාපිත දළදා මන්දිරයට මෙම වර්ෂය වන (ක්‍රි.ව. 1592 – 2025) විට වසර 433 ක පමණ ඉතිහාසයක් ඇති බව පෙන්වා දීමට පුළුවන.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය

ආර්.එම්.ජී. වසන්ත දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT