Home » පින් සිත් පුබුදු කරවන උත්තම දළදා පුද සිරිත්

පින් සිත් පුබුදු කරවන උත්තම දළදා පුද සිරිත්

by sachintha
April 25, 2025 1:00 am 0 comment

අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රාජමහා විහාරාධිපති දළදා තේවාව භාර උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවකිනි

එදා අනඳ හිමි බුදුරදුන් උදෙසා කළ උපස්ථානය මෙකල සිදු කිරීම සඳහා මහා පුණ්‍ය බලයක් භික්ෂුවකට තිබිය යුතු ය. ආනන්ද හිමි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිවුරු පිරිකර පිළිගැන්වීම ඇතුළු අවශ්‍යතා දහසයක් දෛනික ව සපුරා ලූ බව පොතපතේ සඳහන් ය

සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගලපුර ඉංග්‍රීසි පාලනයට නතු වීමෙන් පසු උතුම් වූ දළදා වහන්සේ උදෙසා කරන්නා වූ පුද සිරිත් නොකඩවා සිදු කිරීමේ කාර්යය ද ඔවුන් භාරයට ගැනිණි.

රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් රජුගේ නො මද පුද සත්කාරයන්ට ලක් වූ දළදා වහන්සේ උදෙසා මහා සංඝරත්නය පෙරටුව රාජ්‍ය පාලකයින් ඉටු කළා වූ එම බැතියෙන් උතුරා ගිය සත්කාරය ඉංග්‍රීසි පාලකයින් වෙතින් එලෙසින් ම ඉටු නොවිණි. මේ නිසා ම ස්වභාව ධර්මයේ නොයෙක් පීඩාවන්ට ලක්වන්නට ලක්වැසියන්ට සිදුවිණි. බ්‍රිතාන්‍ය රජය 1847 වසරේ දී ගත් තීරණයකට අනුව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම, දියවඩන නිලමේ, සතර මහ දේවාල බස්නායක නිලමේවරු ඇතුළු භාරකාර මණ්ඩලයකට දළදා වහන්සේගේ භාරකාරත්වය හා පුද පූජා පැවැත්වීමේ වගකීම පවරා දුන්නේ ය. එහෙත් ඉන් වසරක ඇවෑමෙන් 1848 දී ඇති වූ නිදහස් සටන හේතුවෙන් යළිත් ඉංග්‍රීසීන් දළදා වහන්සේගේ භාරකාරත්වය පවරා ගනු ලැබීය.

දළදා සමිඳුන්ගේ භාරකාරත්වය යළි මෙරට බෞද්ධයින්ට හිමිවූයේ 1853 වසරේ දී ය. සිංහලයින් දියත් කළ සටන පරාජය කිරීමට සමත් වූ ඉංග්‍රීසින් එවකට මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මහානායක පදවිය හෙබවූ ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හා දියවඩන නිලමේට දළදා වහන්සේගේ භාරකාරත්වය පවරා දුන්නේ ය. එම කාලවකවානුවේ සිට දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය උභය මහා විහාරීය මහා නායක හිමිවරු දෙනමට පැවරුණු අතර, මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත්කර ගැනීම කාරක සංඝ සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. දළදා වහන්සේ උදෙසා සිදු කළ යුතු තේවා කටයුතු සිදුකළ යුතු ආකාරය උභය මහා විහාරීය මහා සංඝරත්නය, මහා නාහිමිවරු මූලිකත්වයෙන් සාකච්ඡා කොට එකඟතා ඇති කර ගනිමින් ඒවා සම්මත කර ගත්හ. එම චාරිත්‍ර අද ද නො නැසී ඒ ආකාරයෙන් පවත්වා ගෙන ඒමට උභය මහා විහාරීය මහනායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු කටයුතු කිරීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය මහා විහාර දෙකට භාරදීමෙන් පසු ඇති කර ගත් එකඟතාවන් අනුව තේවා කටයුතු වර්ෂයක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරනු ලබති. වාර්ෂික වස් එළඹීම සිදුකෙරෙන ඇසළ පුන් පෝ දිනට පසුදින මෙම තේවා මාරුව සිදුකිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රය යි. ඒ අනුව මේ වනවිට දළදා තේවා කටයුතු අස්ගිරි පාර්ශවය මඟින් සිදු කරනු ලබන අතර මීළඟ තේවා මාරුව අස්ගිරි පාර්ශවයෙන්, මල්වතු පාර්ශවයට පැවරෙන්නේ එළඹෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදා ය.

තේවා මුර මාරුව මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිලමේතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබති. තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත්කිරීම සිදුකරනු ලබන්නේ අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටතේ ය. ඒ සඳහා වර්තමානයේ භික්ෂූන් වහන්සේ පස්නමක් පත්කරනු ලබන අතර උඩු මහලේ දන්ත ධාතුන් වහන්සේ අබියස තේවා කටයුතු සඳහා තෙනමක් පත් කෙරෙයි.

අදාළ පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරන්නා වූ ජ්‍යෙෂ්ඨ හිමිවරු තෙනමක් මේ සඳහා පත්කෙරෙන අතර ඉන් එක් නමක් දළදා තේවා භාර නායක හිමි ලෙස කටයුතු කරති. උන්වහන්සේ තේවා කටයුතුවල ප්‍රධානත්වය ගනී. පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරිප්පුවට එක් නමක් වශයෙන් සෙසු දෙනම පත් කෙරෙන අතර උන්වහන්සේ තේවාව භාර පාර්ශවයේ නේවාසික උපසපන් භික්ෂූන්වීම අනිවාර්ය සාධකයකි.

ආගමික කටයුතු කෙරෙහි දක්ෂතාව ඇති ශ්‍රද්ධා සම්පන්න ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ සඳහා පමණක් මෙම උතුම් අවස්ථාව හිමි වෙයි.

තේවා මාරුව සිදුවන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලුම බඩු භාණ්ඩවල ලේඛනය සෙවුවායින් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමි භාණ්ඩ භාර ගැනීම සිදු කරයි. අනතුරුව තේවා මාරුව සිදුවෙයි. දළදා මැදුරේ විහාරාධිපති වශයෙන් තේවා භාරකාරත්වය මහා නාහිමියන්ට පැවරෙන අතර උන්වහන්සේ විසින් පත්කරන්නා වූ හිමිවරු පස්නම විසින් අදාළ පුද පූජාවන් නො අඩුව සිදු කිරීමට වගබලා ගනිති. තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝ රත්නයට සහායවීම පිණිස දියවඩන නිලමේතුමන් විසින් නිල වශයෙන් ගිහි පිරිසක් ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

දළදා මාලිගාවේ සිදුකෙරෙන්නා වූ තේවා මුරයට අයත් සුවිශේෂී කටයුත්තක් වන්නේ සෑම සතියක ම බදාදා දින සිදු කෙරෙන්නා වූ නානුමුර මංගල්‍යය යි. රාජ නියමය අනුව දළදා වහන්සේ අභියස බුදුගුණ ගැයීම නානුමුර මංගල්‍යය දින සිදු කෙරෙන අතර, එය කවිකාර මඩුව ලෙස හැඳීන්වෙයි. ඒ සඳහා සහභාගි වන්නේ රජ දවස සිට ඒ සඳහා වරම හිමි පවුල් සාමාජිකයින් වීම විශේෂත්වයකි. මහජන දැක්ම සඳහා දළදා වහන්සේ වැඩසිටින කුටියෙන් පිටතට වැඩම කරවන බැවින් දළදා වන්දනාව පැවත්වෙන කාල සීමාවේ දී කවිකාර මඩුවේ සහභාගිත්වය ද අනිවාර්යයෙන් ම සිදුවිය යුතු ය.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ සංඝ පරම්පරා තුනකි. උරුලෑවත්තේ, මැද පන්සල් හා පොතුහැර ලෙස මෙම සංඝ පරම්පරා තුන හැඳීන්වෙයි. දළදා තේවා කටයුතු අස්ගිරි පාර්ශ්වයට පැවරෙන අවස්ථාවේ මෙම පාර්ශ්ව තුනට එම අවස්ථාව වසරක් පාසා බෙදී යයි. අදාළ පාර්ශ්වයෙන් සුදුසු භික්ෂූන් වහන්සේ නම් කළ පසු මහ නාහිමියන්ගේ අනුමැතිය මත දළදා තේවාවට භික්ෂූන් වහන්සේ පත් කෙරෙයි.

ආනන්ද රහතන් වහන්සේ බුදුරදුන් උදෙසා එකල සිදු කළා වූ ඇප උපස්ථාන ඒ අයුරින් ම ජීවමාන බුදුරදුන් සේ සලකන්නා වූ දළදා සමිඳුන් උදෙසා ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරෙයි. එදා අනඳ හිමි බුදුරදුන් උදෙසා කළ උපස්ථානය මෙකල සිදු කිරීම සඳහා මහා පුණ්‍ය බලයක් භික්ෂුවකට තිබිය යුතු ය. ආනන්ද හිමි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිවුරු පිරිකර පිළිගැන්වීම ඇතුළු අවශ්‍යතා 16 ක් දෛනික ව සපුරා ලූ බව පොතපතේ සඳහන් ය. වර්තමානයේ දී දළදා වහන්සේ ජීවමාන බුදුරදුන් ලෙස සලකා එම කටයුතු මහා සංඝරත්නය විසින් ඉෂ්ඨ සිද්ධ කරනු ලබයි.

එදා රජුට පිළියෙළ කළ ආහාර වේල ඒ ආකාරයෙන් ම දළදා වහන්සේ වෙත පූජා කිරීමේ චාරිත්‍රය අද ද ක්‍රියාත්මක වන්නේ රාජ නියමය අනුව ය. ඒ අනුව හාල් සේරු 32 කින් හා වෑංජන 32 ක් සමඟ ඊට සරලින අවුල්පත් ආදිය දළදා වහන්සේට පූජා කිරීම අද ද දළදා මැදුරේ දී දෛනික ව සිදු කෙරෙයි. මෙය හැඳීන්වෙන්නේ දහවල් මහ මුළුතැන් පූජාව ලෙසිනි.

දළදා වහන්සේ උදෙසා පූජෝපහාර පැවැත්වීම සඳහා බැතිමතුන් වෙතින් කෙරෙන ඉල්ලීම් වැඩි වීමත් සමඟ මේ වනවිට අලුයම දානමය පුණ්‍යකර්මය ද දහවල් මහ මුළුතැන් පූජාව මෙන් හාල් සේරු 32 කින් හා වෑංජන 32 කින් යුක්තව පූජා කෙරෙයි. මීට අමතර ව ගිලන් පස පූජා දෙකක් දළදා වහන්සේ උදෙසා පැවැත්වීම ද අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි. මින් එක් ගිලන්පස පූජාවක් දහවල් මහ මුළුතැන් පූජාව භාර ගන්නා අයට ද, අනෙක් ගිලන්පස පූජාව උදේ මුළුතැන් පූජාව භාර ගන්නා අයට ද ලබා දෙයි. මීට අමතරව මේ වනවිට අතිරේක මුළුතැන් පූජාවක් පැවැත්වීමේ අවස්ථාව ද බැතිමතුන්ට ලබා දී තිබේ.

සටහන

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT