අනුරාධපුරයට ප්‍රථමයෙන් ම දළදා වහන්සේ වැඩම කරවූ අවස්ථාවේ දී රජමාළිගයේ තැන්පත් කළ රජතුමා පසුව ඇතුළුනුවර දළදා වහන්සේ වඩා හිඳුවීමට මහානාර්ඝ ගෘහයක් කළ බවත් ‘රජතුමා විසින් ඉමහත් ගෞරවයෙන් දළදා වහන්සේ පිළිගෙන බොහෝ ගෞරව දක්වා වජ්‍රමය කරඬුවක දළදා වහන්සේ තැන්පත් කොට දේවානම්පියතිස්ස රජතුමන් විසින් ගොඩනඟන ලද ධම්මචක්ක ගෘහයේ වඩාහිඳ වූ බවත් එවක් පටන් එය දාඨාධාතුඝර නම් වූ බවත්’ මහාවංශයේ 34 වන පරිච්ඡේදයේ 93 – 95 ගාථාවන්හි සඳහන් වන්නේ ය.
කිර්තී ශ්‍රී මේඝවර්ණාභය රජුගෙන් පසුව ධාතුසේන රජුගේ (ක්‍රි.ව. 455 – 473) කාලයේ අගනා දළදා කරඬුවක් ද, මැණික් එබ්බ වූ රැස්වළල්ලක් ද, රන් පියුම් ද පිදූ බව මහාවංශයේ සඳහන් වෙයි. මේ අයුරින් පළමුවැනි අග්බෝධි රජු, සිව්වැනි උදය රජු, සිව්වැනි මිහිඳු රජු ආදී අනුරපුර සමයේ රජවරු සොළී ආක්‍රමණ මඟින් විනාශ වූ දළදා මාළිගා නැවත සිත්කළු මන්දිර ලෙසින් තනවා පූජෝපහාර දක්වා තිබේ. සතුරු ආක්‍රමණ පැමිණි සමයන්හි දී ශාසනභාරධාරී තෙරුන් වහන්සේ දළදා වහන්සේ ආරක්ෂා කර ගත් බව ද, අනුරපුර අවදියේ දී දළදා වහන්සේගේ ආරක්‍ෂාව සඳහා රුහුණුට රැගෙන ගිය බව ද දළදා සිරිත දක්වයි.
අනුරාධපුර යුගාවසානයේ ඇති වූ චෝල ආක්‍රමණයෙන් පසුව ද ඒ ඒ රාජධානි සමයන්හි විවිධ සතුරු ආක්‍රමණ රාජ්‍යයට එල්ල වනවිට දළදා වහන්සේ සඟවා තැබූ අවස්ථා ඇතුළු ව 34කට වැඩි ස්ථානයන්හි වඩා හිඳුවා තිබූ බව දැනට හමුවන ලිඛිත සාධක අනුව පෙනී යයි.
පළමු වැනි විජයබාහු (1555-1110) රජතුමා දළදා වහන්සේ පොලොන්නරුවට වැඩමවා එහි රමණීය දළදා මැදුරක් කරවා නිරන්තරයෙන් පූජා පැවැත්වූ බව මහාවංශය 60 වැනි පරිච්ඡේදයේ 16 ගාථාවේ සඳහන් වේ. ඒ අනුව දළදා වහන්සේ රාජ්‍ය උරුමය අතිපූජනීය සංකේතයක් ලෙස සැලකීම නැවතත් සනිටුහන් කෙරිණි.
පළමු විජයබාහු රජතුමා අටදාගේ නමින් දෙමහල් දළදා මාළිගයක් නිර්මාණය කර දළදා වහන්සේ වඩා හිඳවූ බව වෙයිල්ලකාර පුවරු ලිපියේ සඳහන් වේ. රජුගේ ඇවෑමෙන් දළදා මාළිගය ආරක්ෂා කිරීම වේයිල්ලක්කාර කුලී හේවායන්ට පැවරූ බව ද නිදානයක් ලෙසින් මෙහි දක්වා තිබේ.
විජයබාහු රජතුමාගෙන් අනතුරුව රටේ දේශපාලන අස්ථාවරය ඇති වූ අවස්ථාවේ දී මොග්ගල්ලාන තෙරුන් වහන්සේ සමඟ සාකච්ඡා කොට වේලක්කාර හේවා භටයන්ට දළදා වහන්සේගේ ආරක්ෂාව භාර දීමේ ගිවිසුමක් කළ බව සඳහන් වේ.
ඉන් අනතුරුව පාලනයට පත් 01වැනි ජයබාහු, 01වැනි වික්‍රමබාහු, 02 වැනි ගජබාහු රජවරු දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට සහ පුද පූජාවන් පැවැත්වීමට කටයුතු යොදන නමුත් වේයිල්ලක්කාර හමුදාව ලබා දුන් පොරොන්දුව ඉටු නොකර කටයුතු කිරීම නිසා දළදා වහන්සේත්, මිණිමුතු සඳුන් අගිල් කපුරු ආදියත් නැවත හැරගෙන ගත් අතර අෂ්ටමූලවිහාර භික්ෂූන් වහන්සේ උතුම් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන රුහුණු – මායා රට මානාභරණ කීර්තිමේඝ ශ්‍රී වල්ලභ කුමරු අතර භාර දී ආරක්ෂා කිරීමට කටයුතු කළ බව ඓතිහාසික මූලාශ්‍රයන් පැහැදිලි කරයි.
ඉන්පසු ව පළමුවැනි පරාක්‍රමබාහු රජු රජරට ආධිපත්‍යයට පත්වූ අතර රුහුණේ පාලකයා වූ මානාභරණ සමග සටන් කළේ දළදා වහන්සේ ලබා ගැනීමට ය.
ඉන් අනතුරුව මහා පැරකුම්බා රජතුමා රුහුණේ සුගලා දේවියට පණිවිඩ යවා මංජු අධිකාරි සෙනවි හරහා දළදා වහන්සේ කම්මනාථභාරයේ පොලොන්නරුවට යැවූ බව සඳහන් වේ.
අනතුරව රජ පැමිණි නිශ්ශංකමල්ල රජු ද දළදා මන්දිරයක් කරවීය. දකුණු ඉන්දියාවේ කාලිංග මාඝගේ ආක්‍රමණ නිසා පොලොන්නරු රාජධානිය ද බිඳ වැටුණි. රාජාවලියේ දැක්වෙන ආකාරයට දළදා පාත්‍ර ධාතුන් වහන්සේ දෙනම වාචිස්සර තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා විසින් කොත්මලයට ගෙන ගොස් සුරක්ෂිත ව භූමිගත ව නිදන් කරන්නට යෙදුණු බව
මහාවංශයේ සඳහන් කරයි. පොලොන්නරු රාජධානියෙන් අනතුරුව දඹදෙණි රාජධානියට දළදා වහන්සේ රැගෙන ආ පුවත සඳහන් වේ. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත නමින් හැඳීන් වූ මේ රජතුමා දළදා වහන්සේ තම මාළිගය සමීපයේ ම මන්දිරයක් කරවා එහි වඩා හිඳුවීය.
මෙලෙසින් දඹදෙණිය පර්වතය මත සහ එය පාමුල විජයසුන්දරාරාම විහාර බිමේ දළදා මාළිගා දෙකක් තිබූ බවට සාධක හමුවෙන බව ඉතිහාසඥයන් දක්වයි. ඉන් අනතුරුව දළදා වහන්සේ යාපහුවට වැඩම කරවීය. 01වන භුවනෙකබාහු රජතුමා එක්දහස් 1272-1284 සමයේ දළදා වහන්සේ වැඩම වූ බව දළදා පූජාවලිය මෙන්ම මහාවංශයේ 88 පරිච්ඡේදයේ 77 ගාථාවන්හි සඳහන් වේ.
අනතුරුව සිදු වූ කනගාටුදායක සිදුවීම නම් ආර්යචක්‍රවර්ති නම් දකුණු ඉන්දීය ආක්‍රමණිකයා දළදා වහන්සේ නැවත පඬි රටට රැගෙන යාමයි. ඒ සමඟ ම යාපහු රාජධානිය ද අහෝසි වී ගියේ ය.
මහාවංශයේ 90 වැනි පරිච්ඡේදය දක්වන ආකාරයට ආර්ය චක්‍රවර්ති යාපහුව ආක්‍රමණය කොට දන්ත ධාතූන් වහන්සේ ද, සියලු සාර ධනය ද පඬි රට රජුට භාරදුන් බව දක්වයි. පසුව පරාක්‍රමබාහු රජතුමන් කුලසේකර රජු සමඟ සුහදත්වයක් ගොඩනඟා ගෙන දළදා වහන්සේ නැවත ලංකාදීපයට වැඩම කරවා පොලොන්නරුවේ නිශ්ශංකමල්ල රජු කළ දළදා මන්දිරයේ නැවත වඩා හිඳුවන්නට යෙදුණු බව මහාවංශය 90නි පරිච්ඡේදය දක්වයි. ඉන්පසු 1293-1302 සමයේ දළදා වහන්සේ කුරුණෑගලට වැඩම කරවීය. කුරුණෑගල සිට රාජධානිය සංක්‍රමණය වූයේ උඩරට ගම්පොළට ය.
ගම්පොළ රාජධානිය කරගත් සිව්වෙනි බුවනෙකබාහු රජතුමා එහි නියංගම්පාය යන නමින් ප්‍රසිද්ධ වූ ශෛලමය භූමිස්තම්භ සෝපාන මාලාවෙන් විරාජමාන වූ ප්‍රාසාදයක් කරවා දළදා වහන්සේ වඩා හින්දවූ බව දක්වා ඇත. එම රජුගේ ඇවෑමෙන් පසු පස්වන භුවනෙකබාහු රජු අගනගරය ලෙස කෝට්ටේ තෝරා ගෙන දළදා වහන්සේ කෝට්ටේ රාජධානියට වැඩම කෙරිණි.
අනතුරුව 1505 පෘතුගීසීන්ගේ ආක්‍රමණය නිසා ඔවුන් දළදා වහන්සේ අත්පත් කර ගත් අතර රාජ්‍ය ද අහිමි විය. එවකට දියවඩන නිළමේ තනතුර දැරූ කීරවැල්ලේ හිරිපිටියේ රාළ හා භික්‍ෂූන් වහන්සේ දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමේ අදහසින් සීතාවක රාජධානිය පාලනය කළ මායාදුන්නේ රජතුමන් හමුවිය. දළදා වහන්සේ දෙල්ගමු විහාරයේ තැන්පත් කිරීමට කටයුතු කළේ ය. දෙල්ගමු වෙහෙර දළදා වහන්සේ තැන්පත් කර වූයේ ප්‍රතිමා මන්දිරයේ බුද්ධ ප්‍රතිමාව පිටිපස කුරහන්ගල තුළ ය. යට ගලේ සිදුර සාරා එහි දන්ත ධාතූන් වහන්සේ සඟවා තිබූ බව විශ්වාස කෙරේ. ඉන් අනතුරුව දළදා වහන්සේ කන්දඋඩරට රැගෙන එන්නේ විමලධර්මසූරිය රජතුමාගේ මෙහෙයවීමෙනි.
විමලධර්මසූරිය රජතුමා දළදා වහන්සේ මහනුවර දෙමහල් මන්දිරයක් කරවා වඩා හිඳවූ බව මහා වංශය පැහැදිලි කරයි.
මහාවංශය අනුව සෙනරත් රජතුමා දළදා වහන්සේ මැදමහනුවර සඟවා තබා තිබූ අතර, ඊට අමතරව ඕලන්ද ආක්‍රමණ සමයේ දී (1764) කෙවුල්ගම ලෙන්විහාරය, උඩුකුඹුර කිනිකඳුර ලෙන, නාවලගල නසල මැදපතන ගල්පව්ව, නාවලගල මීමුරේ හා ගම්පහ අසල මහා වනාන්තරය, පිටිගොඩ අනතුරුව කුණ්ඩසාලෙ විහාරය දළදා වහන්සේ තැන්පත් කර තිබූ බව විදේශිකයන්ගේ වාර්තාවන්වලින් ද සනාථ කර තිබේ. 1802 දී උඩරට ඉංග්‍රීසි ආක්‍රමණයේ දී දළදා වහන්සේ කිතුල්පේ, වෑගම රාජමහා විහාරය, අරත්තන, වල්ලිවෙල, කුණ්ඩසාල විහාරයේ තැන්පත් කර තිබූ බවත් 1814 දී ඉංග්‍රීසි තර්ජන සමයේ දී දළදා වහන්සේ දඹුලුගල, බඹරගල, මැදමහනුවර, තලගුණේ විහාරයේ, මැදිවක විහාරය, වේඩරුව විහාරය, කොත්මලේ සහ පුසුල්පිටිය විහාරස්ථානයන් කේන්ද්‍ර කර ගනිමින් තැන්පත් කර තිබූ බව මෑතකාලීන සහ තත්කාලීන ඓතිහාසික ලේඛන තුළින් ද සන්නස් තුඩපත් තුළින් ද සනාථ වේ. ඉන් අනතුරුව 1815 උඩරට ගිවිසුම සමයේ සිට අද දක්වා ම වත්මනෙහි දළදා වහන්සේ වැඩ හිඳීන දෙමහල් දළදා මන්දිරයේ පූජනීය සිරි දළදා වහන්සේ වඩා හිඳුවා පූජෝපහාර පවත්වන්නට යෙදෙන බව හඳුනාගත හැකි ය.
ශාස්ත්‍රපති අධ්‍යාපනපති රාජකීය පණ්ඩිත
ටැම්පිටියේ ඉන්දවිමල හිමි