Friday, April 25, 2025
Home » දිවමන් බුදුරද සේ සෙත සදනා සිරිමත් සිරි දළදා හිමි වරුණා

දිවමන් බුදුරද සේ සෙත සදනා සිරිමත් සිරි දළදා හිමි වරුණා

by sachintha
April 25, 2025 1:00 am 0 comment

අනේපිඬු සිටුතුමන්ගේ මුණුබුරකු වූ සුභද්‍ර නම් සිටු පුත්‍රයා දළදා වහන්සේට නමස්කාර කොට බුදුගුණ සිහිපත් කොට ප්‍රාතිහාර්ය පාන ලෙස සිදුකළ ප්‍රාර්ථානවෙහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ අහස් කුසට පැන නැඟී සරත් කාලයෙහි නව සඳ මෙන් අහස් කුස බබළවා සිටු පුත්‍රයාගේ හිස මත්තෙහි පිහිටියහ

ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන වූ වාම ශ්‍රී දළදා වහන්සේ ලෝක බෞද්ධ උරුමයේ අසහාය සංකේතය යි.

තථාගත පරිනිර්වාණයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය අනුව ධාතූන් වහන්සේ සත් නමක් නො විසිරී ශේෂ වූ බවත්, සෙසු සර්වඥ ධාතූන් වහන්සේ අබ පියලි මෙන් විසිරී ගිය බවත් දාඨා වංශය ඇතුළු වංශකථාවන්හි සඳහන් ව ඇත. ඉන් වාම ශ්‍රී දළදා වහන්සේ ඛේම මහරහතන් වහන්සේ විසින් රැගෙන කලිඟු රට දන්ත පුරයෙහි බ්‍රහ්මදත්ත රජතුමන් වෙත ලබා දුන් බවත්, දිවා රෑ දළදා වහන්සේ උදෙසා විවිධ පුජාවන් පැවැත් වූ අතර එතුමන්ගේ අභාවයෙන් අනතුරුව පුතු වූ කසී රජතුමන් ද, අනතුරුව කසී රජුගේ පුත්‍ර සුනන්‍ද රජතුමන් ද බුද්ධශාසන මාමක ව ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි ශ්‍රද්ධා පූර්වක ව විවිධ පුදපූජාවන් පවත්වන ලද බවත් වංශකථාවන්හි සඳහන් වේ.

අනතුරුව රජ පැමිණි ගුහසීව රජතුමන්, නිඝණ්ඨයන්ගේ බසට රැවටී කටයුතු කරන කල්හි මහජනතාව ඉමහත් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව ධාතු පූජා කරන හඬ අසා ඒ පිළිබඳ ව කරුණු විමසා බුද්ධමාමක අමාත්‍යවරයකු විසින් දළදා වහන්සේ පිළිබඳ සිදුකරන ලද විග්‍රහයෙන් විෂ්මයට පත්ව දුර්ලබ්ධිය හැරදමා රත්නත්‍රයෙහි ඉමහත් ප්‍රසාදයට පත්ව දළදා වහන්සේ විෂයයෙහි පූජා සත්කාර සිදු කිරීමට කටයුතු කළේ ය. මෙයින් කෝපයට පත් අන්‍ය තීර්ථකයන් විසින් පැළලුප් නුවර පාලනය කළ පඬි මහරජු වෙත ගොස්

“රජතුමනි ඔබගේ සාමන්ත රජෙක් වූ ගුහසීව රජු ශිව, බ්‍රහ්මාදී දෙවිවරුන්ට නින්දා කොට මිනී ඇටයක් තබා පූජා කරන්නේ යැයි” කේළම් කියන ලදී. මෙයින් කෝපයට පත් පඩු රජතුමන් විසින් ගුහසීව රජු හා ඔහු විසින් දිවා රෑ පූජා සිදුකරන මිනී ඇටය ගෙන එන ලෙස ස්වකීය සාමන්ත රජකු වූ චිත්‍රයාන වෙත නියෝග කරන ලදී.

දන්ත පුරයට ගිය චිත්‍රයාන රජු පිළිගත් ගුහසීව රජු දේවාතිදේව, බ්‍රහ්මාතිබ්‍රහ්ම තථාගතයන් වහන්සේ පිළිබඳ කරුණු නො දැන පඬි මහරජු කිසිවකුගේ වංචාකාරී ප්‍රයෝග බසකට රැවටී ඇතැයි කරුණු පැහැදිලි කර දී චිත්‍රයාන රජු දළදා මාළිගාව වෙත කැඳවා ගෙන ගිය බවත්, අනතුරුව, ගුහසීව රජු විසින් අනේකප්‍රකාර බුද්ධගුණයන් ප්‍රකාශ කරමින් ප්‍රාතිහාර්යය පාන ලෙස සිදුකළ ප්‍රාර්ථනාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් දළදා වහන්සේ අහස් කුසට නැඟී මනෝරම්‍ය චන්ද්‍ර රශ්මීන් හා සමාන ශ්වෙත රශ්මීන් විහිදුවමින් ප්‍රාතිහාර්යය පෑ බවත්, එම ප්‍රාතිහාර්ය දැකීමෙන් විශ්මයට පත් චිත්‍රයාන රජු ස්වකීය දුර්ලබ්ධීන් හැර දමා බුදු සසුනෙහි පිහිටි බවත් දාඨාවංශයෙහි සඳහන් වේ.

අනතුරුව චිත්‍රයාන රජු ද සමග ගුහසීව රජු ඉමහත් හරසරින් දළදා වහන්සේ පැළලුප් නුවරට වැඩම කරවූහ. එහෙත් නිඝණ්ඨ බසට රැවටී සිටි පඬි මහරජතුමන් දළදා වහන්සේ බිහිසුණු අඟුරු වළකට දමා පුළුස්සා දැමීමට නියම කරන ලදී. දළදා වහන්සේ අඟුරුවලට දමන අවස්ථාවේ දි කරත්ත රෝදයක ප්‍රමාණයේ නෙළුම් මලක් ගිනි අඟුරු මත්තෙන් පැන නැඟී දළදා වහන්සේ එම පියුම් කෙමියෙහි හංස රාජයකු මෙන් වැඩ සිට රැස්ව සිටි මහජනයාගේ නෙත් සිත් පිනවමින් පෙළහර දැක්වූහ. එයින් ද ප්‍රසාදයට පත් නොවූ පඬි රජතුමා කිණිහිරෙහි තබා දළදා වහන්සේ වෙත යකුල් පහර එල්ල කිරීමට නියෝග කළේ ය. එම අවස්ථාවේ දී කිණිහිරෙහි ගිලී ගිය දළදා වහන්සේ ශ්වේත රශ්මීන් විහිදුවමින් සියලු දිසාවන් අලෝකවත් කරමින් වැඩ සිටියහ. මේ දුටු අන්‍ය තීර්ථකයන් මෙලෙස ආශ්චර්යය දක්වනුයේ මෙය විෂ්ණුගේ අවයවයක් වන හෙයින් යැයි පඬි රජුට ඒත්තු ගන්වන්නට උත්සාහ කළහ. එහෙත් එම අවස්ථාවේ දී පඬි රජු විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙය විෂ්ණුගේ අවයවයක් නම් ඔහුගේ ගුණ ගයා කිණිහිරෙන් නිදහස් කර ගන්නා ලෙසයි. එහෙත් විෂ්ණුගේ ගුණ වැයීමෙන් දළදා වහන්සේ කිණිහිරෙන් එළියට ගැනීමට කිසිවෙක් සමත් නොවූ අතර, අවසානයේ අනේපිඬු සිටුතුමන්ගේ මුණුබුරකු වූ සුභද්‍ර නම් සිටු පුත්‍රයා දළදා වහන්සේට නමස්කාර කොට බුදුගුණ සිහිපත් කොට ප්‍රතිහාර්ය පාන ලෙස සිදුකළ ප්‍රාර්ථානාවෙහි ප්‍රතිඵලයක් ලෙස දළදා වහන්සේ අහස් කුසට පැන නැඟී සරත් කාලයෙහි නව සඳ මෙන් අහස් කුස බබළවා සිටු පුත්‍රයාගේ හිස මත්තෙහි පිහිටියහ.

එහෙත් එම අවස්ථාවේ දී අන්‍ය තීර්ථකයන් ප්‍රකාශ කර සිටියේ මෙය සිටු පුත්‍රයාගේ හපන්කමක් මිස දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයක් නො වන බවයි. ඒ අනූව නැවත පඬි රජතුමන්ගේ නියෝගය ලද සිටු පුත්‍රයා සුවඳ පැනින් පුරවන ලද රන් පාත්‍රයකට දළදා වහන්සේ වැඩම කරවන ලද අතර, එවිගස දළදා වහන්සේ රණ හංසයෙක් විලාසයෙන් ඒ ජලයෙහි ගිලෙමින්, මතුවෙමින් ප්‍රාතිහාර්යය පෑහ. එයිනුදු ප්‍රසාදයට නො පත් පඬි රජු නැවත අන්‍ය තීර්ථක බසට රැවටී පණුවන්ගෙන් පිරීගිය කුණුවලකට දළදා වහන්සේ දැමීමට නියෝග කළේ ය. එහෙත් එම අවස්ථාවේ දී ම එකී කුණු වල දළදා වහන්සේගේ ආනුභාවයෙන් පස් පියුමින් පිරි නන්දා පොකුණ මෙන් රමණීයත්වයට පත් විය.

මේ අවස්ථාවේ දී ඇමතිවරුන් එක්ව පඬි රජු වෙත පැමිණ ප්‍රකාශ කරන ලද්දේ මෙ පමණ ප්‍රාතිහාර්ය දැකත් යමෙක් දළදා වහන්සේ පිළිබද ප්‍රසාදයක් ඇති නොකර ගන්නේ නම් එය ස්වර්ග මෝක්‍ෂ සම්පත්තිය වනසා ගැනීමක් හෙයින් බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා ගෙන සිත පහදවා ගන්නා ලෙසයි. ඇමතිවරුන්ගේ උපදෙස් ඇසූ රජතුමා දුර්ලබ්ධීන් අතහැර බුදු සසුනෙහි ප්‍රසාදයට පත්ව දළදා වහන්සේ විෂයයෙහි විවිධ පුද පූජා පැවැත්වීය.

පඬි රජුගේ අභාවයෙන් පසු ගුහසීව රජු නැවත දළදා වහන්සේ දන්ත පුරයට රැගෙන ගියේ ය.

එහෙත් එම කාලවකවානුවෙහි ඛීරධර රජුගේ ආක්‍රමණය හමුවේ තමන් යුද්ධයෙන් පරාජය වුවහොත් දළදා වහන්සේත් රැගෙන ස්වකීය නො දුටු මිතුරා වන මහසෙන් රජු පාලනය කරන බුදු සසුන මනාව පිහිටි ලක්දිව වෙත බමුණු විලාසයෙන් යන ලෙස දන්ත කුමරු හා හේමමාලා කුමරියට ගුහසීව රජතුමන් උපදෙස් දුන්හ. ඒ අනූව කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන්ගේ නවවැනි රාජ්‍ය වර්ෂයේ දී දළදා වහන්සේ ද රැගෙන එම දෙපළ මෙරටට පැමිණි බව ලාංකේය වංශ කථාවන්හි විස්තර කොට ඇත.

රාජකීය පණ්ඩිත, දර්ශනපති

මහවෙල රතනපාල හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT