Friday, April 25, 2025
Home » ශ්‍රී දළදා වන්දනාව ආධ්‍යාත්මික පරිවර්තනයක සමාරම්භය

ශ්‍රී දළදා වන්දනාව ආධ්‍යාත්මික පරිවර්තනයක සමාරම්භය

by sachintha
April 25, 2025 1:00 am 0 comment

රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර ඇති සාම්ප්‍රදායික උරුමය අර්ථවත් වන්නේ රජු හා දළදා තේවා භාරකාරත්වය සමානුයෝගී වීමෙනි. දළදා දැක්ම පිළිබඳ පාලක අදහස අනුමැතියෙන් හා සහයෝගය පළකිරීමෙන් එය ද සම්පූර්ණත්වයට පත් වී ඇති බව පෙනේ

බුදුරජාණන් වහන්සේ සම්බන්ධ පූජාර්හ වස්තූන් දැක්ම අනුගාමික සැදැහැවතුන්ට ගෙන දෙන්නේ අසීමිත සන්තෘප්තියකි. සන්තෘෂ්ඨියකි. එය ද ස්වකීය ශාස්තෘන් වහන්සේ දැක්ම හමුවීම වැනි අදහසක් සංකල්පනාවක් ඇති වීම ස්වභාවික ය.

එබඳු අවස්ථාවන් උදා කර ගැනීම ජනතා අභිලාෂයකි. වසර 16 කට පසුව එම උදාර වූ අභිලාෂය සපුරා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳ ව රටේ ජනතාව මහත් වූ උද්දාමයකට පත්ව ඇති සැටියක් පෙනේ. එසේ ජනතා අපේක්ෂා ඉටු කරමින්, ජනතාවට සතුට- සොම්නස – තෘප්තිය ලබාදීම රජුගේ පරම වගකීම ද වන්නේ ය.

රාජ යන නාමය පාලකයකුට ලැබෙන්නේ ද ජනතාව – පාලිතයන් සතුටු කරන්නේ ය යන අර්ථයෙනි. එසේ ම චක්‍රවර්ති සංකල්පයට අනුව ද ජනතාව පෙළන්නා, ජනතාවට පීඩනය ගෙන දෙන්නා රජකු වන්නේ ද නැත, එහෙයින් මේ දළදා වන්දනාව, ධාර්මික රාජ්‍ය පාලනයක උදාව පිළිබඳ ව දසතින් නැඟ එන අරුණාලෝකයක් ලෙස ද හඳුනාගත හැකි ය. අපි ඒ සඳහා අපේ ආශිර්වාදය පළකරමු.

දළදා වහන්සේ ආරක්ෂා කිරීම, දළදා වහන්සේගේ භාරකාරත්වය, රාජ්‍යත්වය හා බැඳුණු උරුමයකි, සාම්ප්‍රදායික වගකීමකි. එම වගකීම නිසි ලෙස දරමින් ස්වකීය ජනතාවට එම ආශිර්වාදය ලබා දීමේ පරම වගකීම ඉටු කිරීම ද දළදා වන්දනාවේ අපේක්ෂිත අරමුණු අතර වේ. රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර ඇති මේ සාම්ප්‍රදායික උරුමය අර්ථවත් වන්නේ රජු හා දළදා තේවා භාරකාරත්වය සමානුයෝගී වීමෙනි. දළදා දැක්ම පිළිබඳ පාලක අදහස අනුමැතියෙන් හා සහයෝගය පළකිරීමෙන් එය ද සම්පූර්ණත්වයට පත් වී ඇති බව පෙනේ.

ප්‍රයෝගකාරී දේශපාලන උවමනාවක් ලෙස පාලකයන් විසින් දළදා වන්දනාව සඳහා දරන ලද ව්‍යායාමයක් දළදා තේවා භාරකාරත්වය විසින් ප්‍රතික්ෂේප කරන ලද ආකාරය ද, ඉතිහාසයෙහි පෙනේ, එහෙයින් මෙම යෝජිත දළදා වන්දනාව සද් චේතනා සාඵල්‍යයක් ලෙස ම හඳුනාගත යුතු ව ඇත.

රට තුළ පැවති ආර්ථික, සාමාජික, සදාචාර හා දේශපාලන අස්ථාවර භාවයන්, ව්‍යසනකාරී තත්වයන් හේතුවෙන් දැඩි ලෙස මුසපත් ව අසහනකාරී ව සිටි ජනතාවකට අස්වැසිල්ලක්, සහනයක් ලබා දීම ධාර්මික, දූරදර්ශී, ඥානවන්ත පාලකයකුගේ වගකීමකි. තමන් බලයට පැමිණි වහා ම, ජනතාවට ලබා දිය හැකි මානසික සහනයක්, සන්තෘප්තියක් ලෙස ද ආගමික ආශිර්වාදයක් ලෙස ද, මෙය හැඳීන්විය හැකි ය. දළදා දැක්ම රටට ආශිර්වාදයක් ලෙස රටේ ජනතාව සලකන්නේ ද එලෙසිනි.

රටේ ආර්ථික සමෘද්ධිය ඇති කිරීම, ජනතා අභිලාශය ඉටු කිරීම, ජාතීන් අතර නිර්මාණය කර තිබූ විරසක භාවයන් නැති කොට ජාතික සමගිය, සුහදතාව වර්ධනය කිරීම, ආගමික අනවබෝධයන් දුරු කොට ආගමික සහජීවනය තහවුරු කිරීම ද මෙම දළදා වන්දනාවේ ආනිශංස ලෙස දැක්විය හැකි ය.

ජන ජීවිතයේ සුරක්ෂිතභාවය ධාර්මික පාලනයේ අපේක්ෂාව යි. ඒ වෙනුවෙන් කළ හැකි උපරිමය සිදු කිරීමට එම පාලන තන්ත්‍රය උත්සාහ කරයි. වර්තමාන පාලනය තුළ අප අත්දකිමින් සිටින්නේ එම ධාර්මික භාවිතාව යි. පාලකයාගේ කල්‍යාණ මිත්‍ර භූමිකාව ද රටට, ජනතාවට ආශිර්වාදයකි. වර්තමානයේ රට තුළ ආගමික හෝ ජාතික හෝ උන්මාදයට ඉඩක් නැත. සියලු පුරවැසියන්ගේ ජාතිකත්වයන් හා ආගමික භාවයන් ගරුකොට සලකන හෙයිනි. එම ගරුත්වය ලබා දීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස ද සලකන හෙයිනි.

ශ්‍රී ලංකාව තුළ ආගමික මත ඉවසීමේ දුර්වලතාවක් පෙනෙන්නට ඇතැයි අමෙරිකානු වාර්තාවක දැක්වේ. එය වර්තමාන රජය බලයට පත්වීමට පෙර රට තුළ නිර්මාණය වී තිබූ තත්වය නිරීක්ෂණය කොට දැක්වූ අදහසකි. වර්තමානය වන විට නව රජයේ මැදිහත් වීම මත ඒ තත්වයන් පහව ගොස් තිබේ. ඕනෑම ආගමිකයකුට නිදහසේ තම ආගම ඇදහීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරක්ෂිත වී ඇත. ජාතික සමගිය ද, ආගමික සහජීවනය ද තහවුරු වී තිබේ. සෑම ආගමික උත්සවයක් ම රාජ්‍ය අනුග්‍රහය ලබමින් පැවැත්වීම ද පොදුවේ සෑම ජාතිකයන්ට හා ආගමිකයන්ට එකතු වී සැමරිය හැකි ජාතික සංස්කෘතික උත්සවයකට රජයේ මැදිහත් වීමෙන් දිනයක් වෙන් කිරීම ද නිසා ජාතීන් හා ආගමිකයන් අතර සුහදතාව තවත් අභිවර්ධනය වී තිබේ. ඒ සියලු යහපත් තත්වයන්ට, ඒ තත්වය ඉදිරි සාර්ථකත්වයට ද දළදා දැක්ම සුවිසල් ආශිර්වාදයක් වනු ඇත.

පෙර සිට පැවත එන රාජ ධර්මයන්ගෙන් යුක්ත ධාර්මික රජුන් ඇති වූ කල, මහජනයා ද එයට අනුගත වන බව පෙනේ. පංචසීලය පදනම් කොටගත් වත්මන් රාජ්‍ය පාලනය අතීත රාජ්‍යයන්ගේ පිහිටි රාජ්‍ය පාලනයට සම කළ හැකි බව පෙනේ. බලයට පත්ව වැඩි කල් නොගොස් ම දළදා වන්දනාවක අවස්ථාව රටට ලැබෙන්නේ ඒ උත්තර අරමුණු පරමාර්ථ ශාක්සාත් කරණයෙහි ලා අවශ්‍ය ආශිර්වාදයක් ලෙසින් ම බව අතීත රාජාවලියේ ක්‍රියා පිළිවෙලින් ද පැහැදිලි වේ.

එහෙයින් රටට අත්‍යවශ්‍ය ව පවතින ජාතික සංහිඳීයාව, ආර්ථික සමෘද්ධිය, ආගමික සහජීවනය මෙන් ම, රටේ රජු හා දළදාව අතර බැඳුණු සාම්ප්‍රදායික වගකීම, ජනතා අපේක්ෂා ඉටු කිරීම රජුගේ වගකීම වන අතර, එම කරුණු රාශිය ද අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම ආදී ධාර්මික රාජ්‍ය නායක ස්වභාවය නිරූපණය කරන යෝජිත දළදා වන්දනාව රාජ්‍ය ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක් ලෙස සනිටුහන් වනු නො අනුමාන ය.

වෙසක් පොහොය ආසන්නයෙන් එළඹෙන අප්‍රේල් මාසයෙහි අගභාගයේ සිදු වන මෙම සුවිශේෂී දළදා වන්දනාව සියලු ලෝකවාසීන්ට ආශිර්වාදයක් මෙන් ම සියලු ලක්වාසීන්ගේ ආධ්‍යාත්ම පරිවර්තනයන් සඳහා ද උපකාරිවේවා’යි අපි ප්‍රාර්ථනා කරමු.

අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය

අත්තංගනේ රතනපාල නාහිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT