Home » ගන්නෝරුවේ හෙළ බොජුන් රස විඳ දේශීය නිෂ්පාදනත් අරන්ම යන්න…

ගන්නෝරුවේ හෙළ බොජුන් රස විඳ දේශීය නිෂ්පාදනත් අරන්ම යන්න…

by mahesh
April 25, 2025 1:02 am 0 comment

බුද්ධිකා බ්‍රාහ්මණගේ

මේ දිනවල රටේම අවධානය දිනාගත් නගරය මහනුවරයි. මහනුවර අති වටිනාම සංස්කෘතික ස්මාරකය දළදා මලිගාවයි. මහනුවර ඇති වටිනාම ආර්ථික මධ්‍යස්ථානය නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නෝරුව කෘෂි තාක්‍ෂණ උද්‍යානයයි. මධ්‍යම කඳුකරයට පිවිසෙන දොරටුව වන මහවැලි ගඟ සමීපයේ මහනුවර නිවර්තන දේශගුණය තුළ පිහිටි උද්‍යානය පැති තුනකින් මහවැලි ගඟේ වළල්ලකින් වට වී ඇත. කෘෂිකාර්මාන්තයට අයත් ආශ්‍රිත ආයතන බහුතරයක් මෙම උද්‍යානය ආශ්‍රිතව පිහිටා තිබේ.

කෘෂි තාක්‍ෂණ උද්‍යානය කෘෂිකර්මාන්තය හා සම්බන්ධ විෂය පථයන් සියල්ලම පාහේ ආවරණය වන පරිදි විවිධ කෘෂිකාර්මික ආදර්ශ බිම් 30කට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. ආදර්ශ ගෙවත්ත, කෞතුකාගාරය, බිම්මල් ඒකකය, පටක රෝපණ ඒකකය, පළිබෝධ සහ රෝග ඒකක, පැළෑටි නිරෝධායන ඒකකය, කුළුබඩු වත්ත, පාංශු සංරක්ෂණ ඒකකය, ශාකසාර ඒකකය, සාම්ප්‍රදායික හේන් වගාව, අලභෝග එකතුව, තේ වත්ත, වැව සංස්කෘතිය ආදී අංග මෙන්ම වී වගාව, අනෙකුත් ක්ෂේත්‍ර භෝග, කොළ එළවළු වගාව, කාබනික වගාව, භෝග වන දර්ශ, එළවළු වගාව, කාළගුණ ඒකකය, මී මැසි පාලන ඒකකය, ක්ෂුද්‍ර ජලසම්පාදනය ඇතුළු උසස් තාක්‍ෂණික කෘෂිකාර්මික ඒකකය සහ ආරක්ෂිත බෝග වගාවන් පිළිබඳව ආදර්ශ සැපයීමේ ස්ථානයක් ලෙස සකසා තිබේ.

මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ සේම කෘෂි තාක්ෂණික උද්‍යානය ආශ්‍රිත සේවකයින්ගේ ආහාර අවශ්‍යතා සපුරන හෙළ බොජුන් සාම්ප්‍රදායික ආහාර අලෙවිසැල මෙරට ආහාර සංස්කෘතියට ආදර්ශයක් සැපයූ නියමු කාර්යයකි. එපමණක් නොවේ බීජ සහ රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශය මෙන්ම අගය එකතු කළ ආහාර අලෙවිසැල් සහ GAP එළවළු සහ පලතුරු අලෙවිසැල් යන අංග හුදු වෙළෙඳාම පමණක් අරමුණු කර ගත්තක් නොව මෙරට කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ තෙක් ඔසවා තැබීමේ අරමුණින් ස්ථාපිත කරන ලද ඒකකයන් කීපයකි.

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එස්.එන්. රොෂාන්

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එස්.එන්. රොෂාන්

මහනුවරට ජනගඟක් ගලන මේ වකවානුවේ මෙම අලෙවිසැල් පිළිබඳව දැනුම්වත් කිරීමේ අපේක්ෂාව එම අලෙවිසැල් වෙත යාමෙන් පාරිභෝගිකයාට අත්වෙන යහපත සේම කෘෂි ව්‍යවසායකයින් දිරිගැන්වීමේ අපේක්ෂාවෙනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එස්.එන්. රොෂාන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් ” කෘෂිකාර්මික අමුද්‍රව්‍ය භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන ඉහළ ප්‍රමිතියකින් යුතුව සැකසීමේ ව්‍යවසායකයන් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම ඒවා ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසීම පිළිබඳව උපදෙස් පුහුණුව සහ මඟපෙන්වීම නිරන්තරයෙන් අපේ අංශයෙන් ලබාදෙනවා. ඒ වගේම කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩයක් නිෂ්පාදනය කර අප වෙතට ඉදිරිපත් කළ විට වුණත් එහි ප්‍රමිතිය විද්‍යාත්මකව පරික්ෂා කර අවශ්‍ය සහතික කිරීම් අපි ලබාදෙනවා. එසේ කරන ලද කෘෂි නිෂ්පාදන 60ක පමණ නිෂ්පාදකයින් එක්වී කෘෂි ව්‍යවසායික සංසදයක් ලෙස සංවිධානය වී සිටිනවා. එම ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන අපගේ ගන්නෝරුව කෘෂි තාක්ෂණික උද්‍යානය ආශ්‍රිත අලෙවිසැලෙහි අලෙවියට තබා තිබෙනවා. මේ අලෙවිසැලෙහි විශේෂත්වය එහි කළමනාකරණ කටයුතු සිදු කරන්නේ මෙම ව්‍යාවසායකත්ව සංසදයේම සාමාජිකයෙකු විසින් වීමයි. එහි කළමනාකාරීත්වය සඳහා තෝරාගන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවයි. වෙළෙඳසැල හොඳින් කළමනාකරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව එම සම්මුඛ පරීක්ෂණයේදී අවධානය යොමු කරනවා.

මෙහි අලෙවියට තබන්නේ කෘෂි ව්‍යවසායන් විසින් මුලින්ම කෘෂි ව්‍යාපාර අංශයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප දෙපාර්තමේන්තුවේ ඇති කෘෂි පර්යේෂණ ආයතනය විසින් ප්‍රමිතිය සහතික කරන ලද නිෂ්පාදන පමණයි. එම සහතික කිරීම මඟින් අපි පාරිභෝගිකයාට රාජ්‍ය විශ්වාසය ලබාදෙනවා. ඒ මඟින් නිෂ්පාදනයට රජයේ අනුමැතිය හා විශ්වාසයත් හිමිවෙනවා. අපගේ අරමුණ උසස් ප්‍රමිතියෙන් යුතු කෘෂි නිෂ්පාදන සාධාරණ මුදලකට වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමයි.”

ගන්නෝරුව කෘෂි උද්‍යානයේ අගය එකතු කළ නිෂ්පාදන අංශයෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයෙකුට උසස් ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන තරඟකාරී මිලකට ලබාගත හැකි බවයි සහකාර අධ්‍යක්ෂ රොෂාන් මහතා වැඩිදුරටත් පවසන්නේ.

මේ සුවිශේෂී අලෙවිසැලෙහි විශේෂත්වය එහි ඇති නිෂ්පාදනයන්ගේ ඇති විවිධත්වය සහ ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ඒවා ඉහළ අගයකින් යුතු වීමයි.එහි විවිධ කුළුබඩු නිෂ්පාදන, පාන වර්ග, ආහාර වර්ග, පිටි වර්ග, කැඳ වර්ග, හකුරු, පැණි ආදී රසකැවිලි ආදී නිෂ්පාදන වර්ග බොහොමයක් අලෙවි කිරීමට තබා තිබේ. මේ සියල්ල උසස් ප්‍රමිතියකින් යුතු බවට සහතික කර තිබේ.

ගන්නෝරුවේ මෙන්ම කෘෂිකර්ම ගලහ හන්දියේ පිහිටි කෘෂි අලෙවිසැල සහ පැල්වෙහෙර කෘෂි කර්ම ගොවිපොළෙහි මෙවැනි අලෙවිසැල් පිහිටා ඇති අතර විශේෂත්වය වෙන්නේ එක් නිෂ්පාදනයකින් 15%ක ලාභයක් පමණක් අලෙවි සැලෙහි නඩත්තුව පිණිස ලබාගත යුතු යැයි කොන්දේසි පනවා තිබීමයි. ඒ හේතුව නිසා නිෂ්පාදන පිරිවැය අඩුවීමට හේතු වී තිබේ.

මෙම අලෙවි සැලෙහි වත්මන් කළමනාකරණය මෙහෙය වන්නේ ශ්‍රියා වීරතුංගයි. අනාධිමත් කලෙක සිට පැවත එන මෙරට සාම්ප්‍රදායික ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට නවීන තාක්ෂණික ක්‍රම ශිල්ප හඳුන්වා දී උසස් ප්‍රමිතිය හා ගුණාත්මකත්වය ආරක්ෂා කරමින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජයගත් ඇය වෘත්තීයෙන් ඉංජිනේරුවරියකි. ව්‍යවසායිකාවක් ලෙසද පුළුල් මෙහෙවරක් කරන ශ්‍රියා වීරතුංග දේශීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පියවර දහස් ගණනින් ඉහළට ඔසවා තබමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් හඳුන්වාදී තිබේ.

Saviru Spices and Nature PVT(LTD හී විධායක අධ්‍යක්ෂිකා වන ශ්‍රියා වීරතුංග මහත්මිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අංශයේ මඟපෙන්වීමට අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ අලෙවිසැල මනා කළමනාකාරීත්වයකින් යුතුව පවත්වාගෙන යන අයුරු නිරීක්ෂණය කළ හැකියි.

Saviru Spices and Nature PVT(LTD හී විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරතුංග

Saviru Spices and Nature PVT(LTD හී විධායක අධ්‍යක්ෂිකා ශ්‍රියා වීරතුංග

“මේ අලෙවි සැල සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි නිෂ්පාදකයින්ට ඉතාමත් හොඳ අත්වැලක්. ඊට හේතුව 15%ක ලාභයක් පමණයි අලෙවිසැලේ නඩත්තුවට වෙන්කර ඇත්තෙ. ඒ නිසා නිෂ්පාදකයාට සාධාරණ ලාභයක් ඉපැයිය හැකියි.

මේ අලෙවිසැලෙන් වැඩි වශයෙන් නිෂ්පාදන මිලදී ගන්නේ ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය නැරඹීමට පැමිණෙන අයයි. ගන්නෝරුව පරිශ්‍රයේ පිහිටි හෙළ බොජුන් අලෙවිසැල සංචාරකයින් අතර වඩාත් ජනප්‍රියයි. විදෙස් රටවල සංචාරය කරන අය වගේම විදෙස් රටවල පදිංචි අයට දේශීය ආහාර, කුළුබඩු, තේ, රසකැවිලි, පාන වර්ග, කැඳ වර්ග, විජලිත ආහාර තෑගි කිරීමට කැමති බොහෝ දෙනෙක් අපේ අලෙවිසැල හොයාගෙන එනවා. ඊට හේතුව රජයේ අනුමැතිය හා උසස් ප්‍රමිතිය යටතේ නිෂ්පාදිත භාණ්ඩ සාධාරණ මිලට මෙහිදී ලබාගත හැකි වීම. විදේශිකයන්ගෙන් විශේෂ අයකිරීමක් නෑ. ඒ නිසාම සංචාරක මඟපෙන්වන්නන් අපගේ අලෙවිසැල වෙත විදේශිකයන් කැඳවාගෙන එනවා. මෙහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 60 කගේ පමණ නිෂ්පාදන අලෙවි කිරීමට තබා තිබෙනවා. ගන්නෝරුවට අමතරව පේරාදෙණිය ගලහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අසල මෙන්ම පැල්වෙහෙර කෘෂිකර්ම ගොවිපොළ ආශ්‍රිතවත් මෙවැනිම අලෙවිසැල් දෙකක් ක්‍රියාත්මක වෙනවා.”

සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායන් අපනයන වෙළෙඳපොළ තෙක් දියුණු කිරීම වත්මන් රජයේ ඉලක්කයයි. ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන බව පවසන කෘෂි ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එස්.එන්. රොෂාන් පවසන්නේ ඉදිරි මාස තුන ඇතුළත පළාත් කීපයකම මෙවැනි කෘෂි නිෂ්පාදන අලෙවිසැල් ඇරඹීමට කටයුතු කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT