Home » ඡන්ද කාඩ් 86ක් තබාගත් සර්වජන අපේක්ෂිකාවක් දැලේ

ඡන්ද කාඩ් 86ක් තබාගත් සර්වජන අපේක්ෂිකාවක් දැලේ

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ පුත්තලම සමූහ - ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර

පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද ඡන්ද කාඩ්පත් ( නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා) 86ක් සන්තකයේ තබාගෙන සිටි සර්ව ජනබලය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂිකාවක් පුත්තලම පොලීසිය විසින් පෙරේදා (23) අත්අඩංගුවට ගනු ලැබීය.

පුත්තලම පොලිස් වසමේ රත්මල්යාය ප්‍රදේශයේදී, පුත්තලම සහකාර මැතිවරණ කොමසාරිස් සහ පොලීසිය විසින් සිදු කරන වැටලීමකදී මෙම අපේක්ෂිකාව අත්අඩංගුවට ගෙන ඇත.

සුබසිංහ ආරච්චිලාගේ චාමලී චන්ද්‍රකාන්ති නැමැති ඇය මෙවර සර්ව ජනබලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාවට තරග කරන අපේක්ෂිකාවක බව පොලීසිය සඳහන් කරයි.

තැපැල්කරු විසින් ඡන්ද කාඩ්පත් පෙරේදා (23) දින උදෑසන කාලයේදී බෙදා ඡන්දදායකයන්ට බෙදාහැරීම සඳහා ලබාගෙන ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එම ඡන්ද කාඩ්පත් අතරින් කොටසක් තැපැල්කරු විසින් අපේක්ෂිකාවට ලබාදී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එසේ ඇයට ලබාදී ඇත්තේ ඇය මැතිවරණයට ඉදිරිපත් වී සිටින කොට්ඨාසයේ ඡන්දදායකයන්ට අයත් කාඩ්පත් ය.

මේ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඇගේ නි‍ෙවස පරීක්ෂා කර ඡන්ද කාඩ්පත් සොයාගෙන ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි.

තැපැල්කරු විසින් තමාගේ වගකීම පැහැර හරිමින් කටයුතු කර ඇති බවත්, ඔහු විසින් කර ඇත්තේ නීති විරෝධි ක්‍රියාවක් බැවින් ඔහුව ද ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

අපේක්ෂිකාවත් තැපැල්කරුත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT