Home » ඇෆ්ගන් පිල එළියට දමා ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව අවසන් තරගයට

ඇෆ්ගන් පිල එළියට දමා ශ්‍රී ලංකා ‘ඒ’ පිල අපරාජිතව අවසන් තරගයට

by sachintha
April 24, 2025 1:38 am 0 comment

සත්කාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ පිලේ අවසන් තරගයට එක්වීමේ බලාපොරොත්තුව බිඳ දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ අබුඩාබියේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස මූලික වටය නිමා කිරීමට ඊයේ සමත් වූහ.

අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම කඩුලු 4කින් පරාජය විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් පිල ලකුණු 228කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 66ක් ඉතිරිව තිබියදී ජය තහවුර කර ගත්තේ කඩුලු 4ක් ද ඉතිරිව තිබිදීය. ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් කමිල් මිෂාර පන්දු 72කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 81ක් රැස් කළ අතර, වැඩබලන නායකයා ලෙස කටයුතු කළ නුවනිඳු ප්‍රනාන්දු පන්දු 54කින් ලකුණු 51ක් රැස් කළේ හතරේ පහර 8ක් සමඟිනි. පවන් රත්නායක නොදැවී ලකුණු 46ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජය තහවුරු කළේය. පන්දු යැවීමේදී කයිස් අහමඩ් කඩුලු 3ක් සහ නවීඩ් සද්‍රාන් කඩුලු 2ක් දවා ගත්හ. නායක ඩාර්විෂ් රසූලි පන්දු 77කින් ලකුණු 76ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, ඉක්‍රම් අලිකිල් සහ කයිස් අහමඩ් ලකුණු 36ක් බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු 4ක්, වනුජ සහන් සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් දවාගත් අතර, තරිඳු තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

මේ තරගාවලියේ අවසන් මහ තරගය හෙට (25) ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වේ.

ඇෆ්ගන් ‘ඒ’ – 228/8 (ඕවර 50) ඩාර්විෂ් රසූලි 76, ඉක්‍රම් අලිකිල් 36, කයිස් අහමඩ් නොදැවී 36 (තරිඳු රත්නායක 45/4, වනුජ සහන් 33/2, මිලාන් රත්නායක 44/2)

ශ්‍රී ලංකා ‘ඒ’ – 232/6 (ඕවර 39) කමිල් මිෂාර 81, නුවනිඳු ප්‍රනාන්දු 51, පවන් රත්නායක නොදැවී 46 (කයිස් අහමඩ් 40/3, නවීඩ් සද්‍රාන් 52/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT