Home » දෙව්මි-පියුමි ජාතික සංචිතයට -මල්කිත් එක්දින වරම් අබියස
කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

දෙව්මි-පියුමි ජාතික සංචිතයට -මල්කිත් එක්දින වරම් අබියස

by sachintha
April 24, 2025 1:05 am 0 comment

ලබන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන සත්කාරක ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 6දෙනකු එක් කිරීමට කටයුතු කර තිබේ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් නම් කරන ලද 17 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට එක්වූ ක්‍රීඩිකාවන්ගෙන් දෙදෙනකු නවකයන් වන අතර, තිදෙනකු වසරකට පමණ පසුව සංචිතයට කැඳවා ඇත.

19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල් ක්‍රීඩිකා දකුණත් දඟ පන්දු යවන්නියක සහ පිතිකාරිනියක වන 19 හැවිරිදි දෙව්මි විහංගා සමඟ 29 හැවිරිදි දකුණත් පිතිකාරිනියක වන පියුමි වත්සලා පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබේ. විහංගා මේ වසර මුලදී පැවති යොවුන් බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයිසීසීය නම් කරන ලද හොඳම කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් එක්වූ එකම ක්‍රීඩිකාව වූවාය.

පියුමි දේශීය අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ අතර, එම තරගාවලියේදී පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් විශිෂ්ට ශතක ද්විත්වයක් වාර්තා කිරීමට ද ඇය සමත් වූවාය.

මීට අමතරව පසුගිය මාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී විස්සයි20 තරගාවලියෙන් ජාත්‍යන්තර පිටියට පිවිසි මල්කි මදාරා ද සංචිතයට එක් කර තිබේ. ඇය තවමත් ජගත් එක්දින තරග වරම් ලබා නැත.

මේ අතර වසරකට පමණ පසු යළිත් ජාතික සංචිතයේ ස්ථාන වෙන් කර ගැනීමට 39 හැවිරිදි ඉනෝකා රණවීර, 31 හැවිරිදි හංසිමා කරුණාරත්න සහ 29 හැවිරිදි හසිනි පෙරේරා ද සමත්ව සිටිති. ඉනෝකා අවසන් වරට පසුගිය වසරේ ජූනි මස හම්බන්තොටදී කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගයක් ක්‍රීඩා කළ අතර, හන්සිමා පසුගිය වසරේ අප්‍රේල් මස දකුණු අප්‍රිකාවේදී සත්කාරකයන්ට එරෙහිව අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළාය. හසිනි අවසන් වරට එක්දින තරගයකට එක්වූයේ පසුගිය වසරේ අගෝස්තු මස අයලර්ලන්තයට එරෙහිව බෙල්ෆාස්ට්හිදීය.

මේ ක්‍රීඩිකාවන්ගේ එක් වීමත් සමඟ කාන්තා පිල අවසන් වරට ක්‍රීඩා කළ නවසීලන්තයට එරෙහි තරගාවලියට එක්වූ ඉමේෂා දුලානි, සචිනි නිසංසලා, කෞෂානි නුත්‍යාංගනා සහ චේතනා විමුක්ති සමඟ නවසීලන්ත සංචාරයේදී ආබාධයකට ලක්වූ උදේශිකා ප්‍රබෝධනීට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබේ.

මේ තරගාවලියට ඉන්දීය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් එක්වන අතර, තරගාවලිය ආරම්භ වන ඉරිදා (27) ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව පළමු තරගයට එක් වෙයි.

මේ අතර තරගාවලියට එක්වීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ඊයේ මෙරටට පැමිණියේය. මේ කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, පියුමි වත්සලා, මනුදි නානායක්කාර, දෙව්මි විහංගා, ඉනෝකා රණවීර, ඉනෝෂි ප්‍රනාන්දු, හන්සිමා කරුණාරත්න, රශ්මිකා සෙව්වන්දි, මල්කි මදාරා, සුගන්ධිකා කුමාරි, අචිනි කුලසූරිය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT