Home » පෞද්ගලික ඖෂධ ශාලාවල ගැටලුවලට විසඳුම් සොයන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමැති අතට

පෞද්ගලික ඖෂධ ශාලාවල ගැටලුවලට විසඳුම් සොයන කමිටු වාර්තාව සෞඛ්‍ය ඇමැති අතට

by sachintha
April 24, 2025 1:47 am 0 comment

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවල ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලාවලට වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලු රාශියකට විසඳුම් සෙවීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදී ඇත.

කමිටුවේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රමුඛ කමිටු නියෝජිතයන් මඟින් මෙම වාර්තාව ඇමැතිවරයා වෙත ඉකුත් දා භාරදී තිබේ.

පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා සඳහා ඖෂධවේදී කාර්ය මණ්ඩලයේ හිඟයක් මෙන්ම එම ක්ෂේත්‍රයේ ඍජුව බලපාන ගැටලු රාශියක් පවතින බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට කරුණු වාර්තා වීමත් සමඟ ඒ පිළිබඳව සොයා බලා සුදුසු නිර්දේශ සහිත වාර්තාවත් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මින් පෙර උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පංච පුද්ගල විශේෂ කමිටුව පත්කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම පංච පුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ජාතික උපදේශක චින්තා අබේවර්ධන, ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ විශේෂඥ වෛද්‍ය සුරංග මානිල්ගම, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජික වෛද්‍ය චන්දන අතපත්තු මහත්ම මහත්මීහු පත් කරනු ලැබ සිටිති.

අවස්ථා කිහිපයකදී රැස් වූ මෙම පංච පුද්ගල කමිටුව විසින් විවිධ අංශයන්ගෙන් කරුණු විශ්ලේෂණය කර කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන නිර්දේශ ඇතුළත් කර මෙම වාර්තාව සම්පාදනය කර ඇත.

වර්තමානය වන විට ඖෂධවේදීන්ගේ හිඟය ගණනය කර දත්ත විශ්ලේෂණය කිරීම, එවැනි හිඟයක් සඳහා මූලික හේතු හඳුනාගෙන අනාගත අවශ්‍යතා පුරෝකථනය කිරීම, ඖෂධවේදීන්ගේ හිඟය පියවීමට කඩිනම් නිර්දේශ, ඖෂධවේදීන්ගේ ප්‍රායෝගික අවශ්‍යතා ආමන්ත්‍රණය කරමින් නියාමන අවශ්‍යතා සපුරාලීමේදී පුහුණු වැඩසටහන්වල ප්‍රමාණවත් බව තක්සේරු කරමින් පුහුණු මාර්ග වැඩිදියුණු කිරීම, ඖෂධවේදීන්ගේ අධ්‍යපනය සහ පුහුණුව පිළිබඳ ජාත්‍යන්තර මටිටමින් ලබා දීම, ඖෂධවේදීයෙකු බිහිකිරීමේදී අධ්‍යාපන සහ පුහුණු මාර්ග වෙනුවෙන් සංශෝධන ඉදිරිපත් කිරීම යනාදී මූලික නිර්දේශ ගණනාවක් මෙම වාර්තාවට ඇතුළත්ව තිබේ.

මෙම වාර්තාවේ නිර්දේශ පිළිබඳව අවධානය යොමු කරමින් පෞද්ගලික අංශයේ පවතින ඖෂධවේදීන්ගේ හිඟය සහ එම අංශයේ පවතින ගැටලු මඟ හරවා එම අංශය තුළ ද කාර්යක්ෂම සේවාවක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළුව පංච පුද්ගල කමිටුවේ සාමාජිකයෝ සහභාගි වූහ.

සන්ධ්‍යා

කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT