කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඉන්ධන පිරවුම්හලේ හදිසියේ ඇතිවූ පිපිරුම නිසා ජීවිත හතරක් අහිමි වූ අතර අවදානම් සහිත එම ඉන්ධන පිරවුම් හල නැවත විවෘත කිරීම දැඩි අවදානම් බවත්, එයට දැඩි විරෝධය දක්වන බව ප්‍රදේශවාසීහු පවසති.
ඉන්ධන පිරවුම්හලක් පවත්වාගෙන යෑම සඳහා භූමි ප්‍රමාණය අවම වශයෙන් පර්චස් 55 කට වැඩියෙන් තිබිය යුතු බවත් මෙම ඉන්ධන පිරවුම්හල පර්චස් 20ටත් අඩු ප්‍රමාණයක පිහිටා ඇති බවත් මෙම ස්ථානයේ ඉන්ධන පිරවුම්හල ආරම්භ කිරීමට පෙර ප්‍රදේශවාසීන් විසින් වගකිවයුතු ආයතන සඳහා ලිපි මඟින් අවස්ථා කීපයක දී දැනුවත් කළ ද ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා මෙම ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමට එවකට රජය කටයුතු කළ බව ඔවුහු පවසති.
ජනාකීර්ණ ප්‍රදේශයක ඉන්ධන හා ගෑස් අලෙවි කිරීම කිසිසේත් අනුමත නොකරන බවත් මෙවැනි හදිසි ගින්නක් ආදිය ඇතිවුවහොත් ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ සේවකයින්ට අවශ්‍ය පුහුණුව ආදිය නොමැතිකම නිසා ජීවිත හතරක් අහිමි වූ බවත් ගින්න පැතිරීගියා නම් අවට නිවාස හා වෙළෙඳසල් රැසක් ගිනිබත් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණු බව ද ඔවුහු පෙන්වා දෙති. ජනතා විරෝධය නොතකා ඉන්ධන හල ආරම්භ කරනවා නම් මෙයට අවසර දුන් රාජ්‍ය ආයතන මෙම ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවගේ ජීවිත සම්බන්ධව වගකිවයුතු බව ද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති..
රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ඉන්ධන පිරවුම් හල සම්බන්ධව තොරතුරු විමසා බලා මෙම ස්ථානයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරන ලෙසයි.
මාවතගම – ආනන්ද විජේතිලක