Home » අනුරපුර ජල සම්පාදනයේ සේවකයෙක් රජයේ නිල නිවාසවල ජල මීටර් ගලවා විකුණලා

අනුරපුර ජල සම්පාදනයේ සේවකයෙක් රජයේ නිල නිවාසවල ජල මීටර් ගලවා විකුණලා

by sachintha
April 24, 2025 2:37 am 0 comment

අනුරාධපුර නගරයේ රජයේ නිල නිවාස ඇතුළු පෞද්ගලික නිවාස රැසක ජල මීටර් සූක්ෂ්ම ලෙස ගලවා මුදලට විකුණූ හිටපු ජල සම්පාදන සේවකයෙකු රුපියල් ලක්ෂයකට වැඩි ජල මීටර් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලය 50 කණුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් එම සැකකරු මීට පෙර ජලසම්පාදන මණ්ඩලයේ සේවය කරමින් සිටියදී තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හේතුවෙන් රැකියාවෙන් ඉවත් කර සිටින අයෙකු බව පොලීසිය පවසයි.

ජල බිල්පත නිකුත් කිරීම සඳහා මනු කියවන්නා නිවෙස්වලට පැමිණෙන අවස්ථාවේදී ජල මීටරයක් නොමැති බව නිවැසියන්ට දැන්වීමෙන් අනතුරුව ලැබුණු පැමිණිලි සම්බන්ධ විමර්ශන කර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ජල සම්පාදන මණ්ඩලය සහ අනුරාධපුර රෝහලට අයත් නිවාසවල ජල මීටර සැකකරු විසින් සොරකම් කර තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම සැකකරු සන්තකයේ තිබී ජල මීටර් 23ක් සොයා ගත් බවද පොලීසිය පවසයි.

සැකකරු ජල මීටර් ගලවා, සූක්ෂ්ම ලෙස එම ස්ථානයට ‘එල්’ හැඩැති බටයක් සවිකර නිවැසියන්ට සැක නොහිතන පරිදි ජල සම්බන්ධතාවය ඇනහිටීමක් නොවන පරිදි මෙම සොරකම සිදු කර ඇති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව පොලීසිය පැවැසීය.

සැකකරු මෙම ජල මීටර් ගලවා පරණ යකඩ බඩු මිලට ගන්නා ස්ථානවලට අඩු මුදලට විකුණා, එම මුදලින් මත්කුඩු පානය කර ඇති බවට සැක කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 

අනුරාධපුර සංචාරක – බී.ජී. චතුරංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT