ශ්‍රී ලංකාවේ පේෂ කර්මාන්ත ක්ෂේත්‍රය නව මානයකට ගෙනයාම සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් පාසල් හැර යන දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන් තුළින් නව ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක පේෂකර්ම විද්‍යාල සඳහා වාර්ෂිකව ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේ වැඩසටහනක් මේවනවිට ක්‍රියාත්මක කර ඇත.
මේ යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා බෝයගනේ පිහිටි අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ආයතනයේ මෙම කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇත. මෙහිදී මෙම ආයතනයෙන් වසරකට පාසල් හැරයන සිසු සිසුවියන් 20කට පේෂ කර්මාන්තය පුහුණුව ලබාදෙයි.
මෙම පාඨමාලාව සඳහා තෝරා ගන්නා සිසුන්ට වසරක මූලික පාඨමාලාවක් සමඟ තවත් වසරක් සඳහා උසස් මෝස්තර පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව ලබා දෙයි. මෙහිදී ඔවුන්ට රුපියල් 500ක දීමනාවක් ද ලබා දෙයි.
මෝස්තර පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් මොරටුව, කටුබැද්ද හෝ මහනුවර, ගැටඹේ පුහුණු මධ්‍යස්ථාන කරා යොමු කෙරේ. අවශ්‍ය සිසුන් සඳහා නේවාසික පහසුකම් ද මෙම වැඩසටහන යටතේ සලසා තිබීම ද විශේෂත්වයකි.
පුහුණු පාඨමාලාව අංගසම්පූර්ණව හැදෑරීමෙන් පසු ව්‍යවසායකයකු ලෙස නැඟී සිටීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නොමිලේ ලබා දීම ද මෙමඟින් සිදු කරන අතර, පේෂ කර්මාන්ත ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවයේ උපදේශක තනතුරු සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව ද ඔවුන්ට හිමිවේ.
මෙහිදී සාරි, ඇඳඇතිරිලි, සාටක, සරම්, සිතුවම් හා විසිතුරු භාණ්ඩ ආදී නව මාදිලියේ නිෂ්පාදන සකස් කිරීමටත් ඒවා අලෙවි කර ගැනීමටත් ඔවුන්ට අවස්ථාව සලසා දී තිබීමත් විශේෂ කරුණකි.
වර්තමාන ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව සාමාන්‍ය පෙළ හා උසස් පෙළ නිම කිරීමෙන් අනතුරුව අධ්‍යාපන සුදුසුකම් සපුරාගත නොහැකි වූ විශාල ශිෂ්‍ය පිරිසකට තමන් ඉදිරියට යා යුතු මඟ සොයා ගැනීමට වෙහෙසක් දැරීමට සිදුවේ. මෙම සිසුන් අතරින් නිර්මාණාත්මක හැකියාවන් ඇති සිසුන්ට ද රාජ්‍ය යන්ත්‍රණය තුළ හිමි වන අවස්ථාවන් ද අල්ප වේ. එබැවින් රජය මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අදාළ වැඩසටහන සකස් කර තිබේ.
කුරුණෑගල අතිරේක – පුෂ්පකුමාර ජයරත්න