Home » සුසාන භූමියක වාට්ටු ඉදිවුණු දිවයිනේ හොඳම ප්‍රා. රෝහලට බස්නාහිර ආණ්ඩුකාරවරයා යයි

සුසාන භූමියක වාට්ටු ඉදිවුණු දිවයිනේ හොඳම ප්‍රා. රෝහලට බස්නාහිර ආණ්ඩුකාරවරයා යයි

by sachintha
April 24, 2025 1:17 am 0 comment

සුසාන භූමියක ඉදිවී දිවයිනේ හොඳම ප්‍රාදේශීය රෝහල ලෙසට පත්වූ අමුතු ඉස්පිරිතාලේ නිරීක්ෂණයට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පසුගියදා මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලට පැමිණියේය.

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එල්.ඒ. කලුකපුආරච්චි , බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් ඉෂාන් විජේතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊට එක්ව තිබිණි. අවම පහසුකම් සහිතව ඉතාම කුඩා රෝහලක් ලෙසින් ආරම්භ කර තිබූ කටුගහහේන රෝහල එහි වත්මන් ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා ඇතුළු 20 දෙනකුගෙන් සමන්විත කාර්යමණ්ඩලයක් එක්ව සුසාන භූමියක නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර ප්‍රදේශයේ ජනතාවට සුවිශේෂී සේවාවන් රැසක් ලබා දීම තුළින් වසර කිහිපයක් බස්නාහිර පළාතේ හොඳම ප්‍රාදේශීය රෝහල ලෙසත්, පසුගිය වසරේ දිවයිනේම හොඳම ප්‍රාදේශීය රෝහල ලෙසත් පත්විය. එය ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නැංවීමට කදිම උදාහරණයක් බව කී ආණ්ඩුකාරවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේදී කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ක්‍රමවත් බව සහ දියුණුව පිළිබඳව පැහැදීමෙන් රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද පැවසීය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ඇතුළු නිලධාරීන් කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ඡායාරූපයෙන් දැක්වේ. මෙම අවස්ථාවට මතුගම ප්‍රාදේශීය ලේකම් මධූෂ සංකල්ප, මහජන සම්බන්ධීකරණ නිලධාරී අනුර කුමාර, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජයසිංහ, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

මතුගම සමූහ – බී.ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT