වාහනවලින් පා ගමනින් යන සියල්ලන්ගේ ජීවිත අනතුරේ
ගම්මානවලට කි.මී. 14ක් වටරවුමෙන් යන්න වෙලා
හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවත්තේගම ඇතුළු ගම්මාන රැසකට ආරක්‍ෂාකාරීව පිවිසීම සඳහා ප්‍රදේශවාසී ජනතාව වසර 23ක් තිස්සේ ඉල්ලා සිටින දුම්රිය හරස් මාර්ගය ලබා දීම පසුගිය සියලු රජයන් හා අදාළ බලධාරීන් දිගින් දිගටම මඟහැරීම හේතුවෙන් ප්‍රදේශයේ දහස් ගණනක් ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.
ගම්වාසීන් පවසන්නේ, හාලිඇළ- බදුල්ල ප්‍රධාන මාර්ගයෙන් හැරී මහවත්තේගම මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ ගිය තැන බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගය හමුවන අතර, ඉන් ඔබ්බට ඇති ගම් ප්‍රදේශ රැසකට යෑමට එම දුම්රිය මාර්ගය හරහා යා යුතු බවයි. මෙම ස්ථානයෙන් දෙපසටම රුපියල් කෝටි ගණනක් වැයකොට මාර්ගය සංවර්ධනය කර ඇතත් දුම්රිය හරස් මාර්ගයක් නොවීම හේතුවෙන් මේ වනතුරුත් දුම්රිය මාර්ගයෙන් ඔබ්බෙහි වූ එම ගම්මානවල සිට හාලිඇළ නගරයට වාහනයකින් යෑමට සිදුව ඇත්තේ බදුල්ල නගරය හරහා කිලෝමීටර් 14ක පමණ වට රවුමකින් බව ගම්වාසීහු පවසති. පැවති රජයන්හි ප්‍රවාහන අමාත්‍ය, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය වැනි තනතුරු දැරූ දේශපාලනඥයන් හාලිඇළ ආසනය තුළම සිටි නමුත් හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 7කට අයත් ගම්මාන රැසක දහස් ගණනක් ජනතාව වෙනුවෙන් දුම්රිය හරස් මාර්ගයක් ලබා ගැනීමට එදා මෙදා තුර නොහැකි වීම පිළිබඳව සිය දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පළ කරන ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.
ප්‍රදේශවාසී චන්දිම සුසන්ත මහතා මෙසේ පැවසීය.
Òමේ දුම්රිය පාරෙන් ඔබ්බට මහවත්තේගම, ගොඩේගම, උණගොල්ල, දෙමටවැල්හින්න, වැලිකේමුල්ල, මැදගම, වේවැල්හින්න යන ග්‍රාම නිලධාරී වසම් 7කට මේ පාරෙන් යන්න පුළුවන්. ඒ වගේම හාලිඇළ නගරයේ සිට මහවත්තේගම, හපුවත්ත, ගොරඩියවක, එළදළුව, අලුබෝගොල්ල, මුදුන්පිට, රිල්පොළ ඇතුළු ගම්මාන රැසකට ඇති පහසුම පාර. හාලිඇළ සිට මේ දුම්රිය මාර්ගය දක්වා පාර රුපියල් ලක්‍ෂ 120ක වියදමින් සංවර්ධනය කොට තිබෙනවා. ඒ මාර්ගයේ තිබෙන පාලම හදන්න ලක්‍ෂ 38ක් වැය කර තිබෙනවා. දුම්රිය මාර්ගයෙන් ඔබ්බට එළදළුව කෝවිල දක්වා පාර සංවර්ධනය කර තිබෙනවා. ඒ තරම් මහජන මුදලක් වැය කළත් අපේ ගමට තාමත් වාහනයක් යන්න බෑ. පාරක් හරියට නැතිනම් ගමක් සංවර්ධනය වෙන්නේත් නෑ. විශේෂයෙන් දුම්රිය මාර්ගය හරහා යන්න තිබෙන ගමක වැසියන්ට ආරක්‍ෂාකාරීව යාමට පහසුව සැලසීම රජයක වගකීමක්. පක්‍ෂය කුමක් වුවත් මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක්ම මෙහිදී ඒ සම්බන්ධයෙන් අසමත්ව තිබෙනවා.Ó
ප්‍රදේශවාසියකු වන එස්.ඩබ්. විමල් සමරවීර මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. Òඅපි මේ දුම්රිය හරස් මාර්ගය ඉල්ලන්නේ වර්ෂ 2002 සිටයි. ඒ කාලේ සිටම මේ සම්බන්ධයෙන් අදාළ සියලු බලධාරීන් හා සියලු අංශයන් දැනුම්වත් කර ඉල්ලීම් කර තිබෙනවා. මෙම හරස් මාර්ගය දෙනවා නම් ගේට්ටු සඳහා මුරකරුවන් යොදවන්න එකල ප්‍රාදේශීය සභාවත් එකඟ වුණා. ඒත් දුම්රිය බලධාරීන් ඊට අවසර දුන්නේ නෑ. ඒ නිසා මෙම ස්ථානයෙන් ගුවන් පාලමක් යොදා පාරවල් දෙක සම්බන්ධ කරන්න යෝජනාවක් ආවත් ඒ සඳහා ඇස්තමේන්තුව වූ රුපියල් මිලියන 60ක් වැය කළ නොහැකි බව කියා ඒ යෝජනාව ඉවත දැම්මා. සමහරු මේකට විසඳුමක් දෙන්න කියා සැලසුම් හදා මුල්ගල් තබා උත්සවත් පැවැත්තුවා. ඒත් ඒ කිසිවකුටත් මේ හරස් මාර්ගය ලබා දිය නොහැකි වීම ගැන අප කනගාටු වෙනවා.Ó
සුසන්තා කුමාරි මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.
Òමේ ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලීසිය, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන පුස්තකාලය, රජයේ බෙහෙත් ශාලාව, ආයුර්වේද බෙහෙත් ශාලාව, තැපැල් කාර්යාලය ඇතුළු ආයතන රැසක් සඳහා යන්න ඕනෑ හාලිඇළට. ඒ වගේම ප්‍රදේශයේ ළමයි විශාල පිරිසක් හාලිඇළ නගරයේ පාසල් කිහිපයකට මෙන්ම හාලිඇළ හරහා බදුල්ලේ පාසල්වලටත් පෙරපාසල්වලටත් යනවා. ඒත් මේ ඕනෑම අවශ්‍යතාවකට වාහනයකින් යන්න නම් එළදළුව පාරෙන් බදුල්ල නගරයට ගිහින් එතැන් සිට තවත් කිලෝමීටර් හයක් එන්න ඕනෑ. ඒත් මේ දුම්රිය මාර්ගයේ සිට හාලිඇළට තිබෙන්නේ කිලෝමීටර් එකහමාරයි. ඒ නිසා දැන්වත් මේ දුම්රිය හරස් මාර්ගය ලබාදෙන්න කියා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.Ó
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න