සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යන තැනට තල්ලු කළේ තලතා අතුකෝරල මහත්මිය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ සමඟි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (22) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසීය.
“අවසානයට තිබූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පසුව හරින්, මනුෂ, තලතා සහ මම තමයි සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසුණේ. තලතා අතුකෝරල මහත්මිය තමයි වෙනත් පක්ෂයක් හදලා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යන තත්ත්වයට සජිත් ප්‍රේමදාස මහතා පත් කළේ. දක්ෂිණාංශික කඳවුරු එකතු විය යුතුයි කියන මතයේ අපි හිටියා. ඒ අනුව තමයි අපි එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කළේ.
සමඟි ජන බලවේගය මැතිවරණ තුනකට මුහුණ දුන්නාට නිල වශයෙන් පළාත් පාලන ආයතනවල බලයක් නෑ. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් සමඟි ජන බලවේගයට පළාත් පාලන නියෝජිතයන් විශාල කණ්ඩායමක් නිර්මාණය වෙනවා. ඒක නැති කරන්න තමයි රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ යටි හිතේ තිබුණා, සාගල රත්නායක කොළඹ මහ නගර සභාවේ නගරාධිපති කිරීම. ඒ ගැටලුවලට සමඟි ජන බලවේගය අහුවෙන්නේ නෑ.
එක්සත් ජාතික පක්ෂයට පක්ෂ ගණනාවක් එකතුවෙලත් ගන්න පුළුවන් වුණේ එක මන්ත්‍රි ධුරයයි. නමුත් සමඟි ජන බලවේගයට පාර්ලිමේන්තු මන්ත්‍රි ධුර 40ක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු දක්ෂිණාංශික කඳවුරු එකතුවීම වැදගත් වෙනවා වර්තමාන වාමාංශික ආණ්ඩුව පෙරළන්න. දේශපාලන ව්‍යාපාරයක් ලෙස එය විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා කරන්න තිබුණා. නමුත් ඒ අවස්ථාවේ එවැනි දෙයක් සිදු වුණේ නෑ. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ අනුර දිසානායක ජයග්‍රහණය කරවන්න. සමඟි ජන බලවේගය විනාශ කර සජිත් ප්‍රේමදාස පරාජය කරන්න තමයි රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කළේ. රනිල් වික්‍රමසිංහ පරදින බව දැන දැන ඉල්ලුවේ සජිත් ප්‍රේමදාස පරාජය කරන්න.
මේ වන විට ජනාධිපති අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වෙලා මාස 7ක් සම්පූර්ණයි. පාස්කුදා ප්‍රහාරය සිදු වෙලා වසර හයක් ගත වෙලා. ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා, අප්‍රේල් 21 වැනිදාට පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරනවා කියලා. නැවත ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා, ඒ සඳහා තවත් කාලය අවශ්‍යයි කියලා. මෙයත් ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකර රවට්ටපු ආකාරයේ වැඩක්.”
රක්ෂණ ශ්‍රියන්ත