Home » මේ ආණ්ඩුව වේදිකාවක් වේදිකාවක් ගානේ බොරු කියනවා

මේ ආණ්ඩුව වේදිකාවක් වේදිකාවක් ගානේ බොරු කියනවා

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
April 24, 2025 2:44 am 0 comment

ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 263,000කට වැඩි පිරිසකට මේ වන විට තම ජීවනෝපාය අහිමිවී ඇති බවත්, මේ මොහොත වනතුරු ඔවුන්ට සහනදායී වැඩපිළිවෙළක් ගෙන ඒමට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පෙරේදා (22) පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.

“බඩු මිල අඩු කරනවා යැයි පැවැසුවත් අද වන විට සහල්, පොල්, කිරිපිටි මිලත් වැඩි වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්න බැරි වෙලා. පාසල් උපකරණවලට, අත්‍යාවශ්‍ය ආහාරවලට ගහන වැට් එක අඩු කරනවා කිව්වත් එයත් කඩවුණු පොරොන්දුවක් වෙලා. එක පෑන් පහරින් ප්‍රශ්න විසඳනවා කිව්වත් කිසිවක් විසඳී නෑ. මේ වන විට 263000කට වැඩි ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ජීවනෝපාය අහිමි වෙලා. මොවුන්ට සහනදායී වැඩපිළිවෙළක් ගෙන එන්න මේ මොහොත වනතුරු කිසිදු වැඩපිළිවෙළක් නෑ.

35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් එයත් සිදු වූයේ නෑ. බඩු මිල අහස උසට ගිහින්. විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් එයත් සිදුව නෑ. අවසානයේ ජනතාවගේ නැඟී සිටීම මත මහජන උපයෝගිතා කොමිසම 20%කින් පමණක් විදුලි බිල අඩු කළා. තවත් 13%කින් විදුලි බිල අඩු කිරීමට තිබෙනවා. තෙල් මිල සම්බන්ධයෙන් ද රජය අනුගමනය කරන්නේ එවැනිම පිළිවෙතක්. තෙල් මිල සූත්‍රය අහෝසි කර තෙල්වල ලාභය ජනතාවට දෙනවා කිව්වත් ඒකත් එච්චරයි.

රාජ්‍ය සේවක වැටුප රුපියල් 20000කින් වැඩි කර මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කිව්වා. වේදිකාවක් වේදිකාවක් ගානේ බොරුව මන්තරය වගේ වැපිරුවා. ජනතාව ඇන්දුවා. මේ රැවටිලිකාර, ප්‍රෝඩාකාර, වංචාකාර දේශපාලනයෙන් මිදිය යුතුයි.

මේ වන විට රජය සමඟ සම්බන්ධ පාර්ශ්ව රජයෙන් ඉවත් වන නිසා ජනාධිපතිවරයා මාලිමා බලය නැති පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙන බවට ප්‍රකාශ නිකුත් කරනවා. පළාත් පාලන ආයතන පනතවත් නොදන්නා ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මෙවැනි ප්‍රකාශ සිදු කළත් බලය තිබුණත් නැතත් රජයේ මුදල් තිබුණත් නැතත් සමඟි ජන බලවේගය රටට සේවාවක් ඉටු කරනවා. එම නිසා බිය නොවී සමඟි ජන බලවේගයට බලය දෙන්න.”

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT