Home » මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට එරෙහිව පවරා ඇති නඩුව සැප්. 25 පැවැත්වීමට නියෝග
මෝටර් රථය අනතුරට පත් කර පුද්ගලයකුට පහර දීම:

මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට එරෙහිව පවරා ඇති නඩුව සැප්. 25 පැවැත්වීමට නියෝග

by sachintha
April 24, 2025 12:09 am 0 comment

බේස්ලයින් මාර්ගයේදී මෝටර් රථය අනතුරට පත් කර පුද්ගලයකුට පහර දී බරපතළ තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට එරෙහිව පවරා ඇති නඩු විභාගය සැප්තැම්බර් 25 වැනි දින පැවැත්වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා පෙරේදා (22) දින නියම කළේය.

ලසන්ත අබේවර්ධන නමැත්තකු 2021 මාර්තු 02 වැනිදා බේස්ලයින් මාර්ගයේ සිය මෝටර් රථය නවතා තිබියදී අර්චුනා රාසනාදන් පදවමින් සිටි වාහනය ඉස්සර කිරීමට ගොස් අනතුරට පත් කර පහර දීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය තීරණය කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අධිකරණයේදී පැමිණිලිකරු වන ලසන්ත අබේවර්ධන සාක්ෂි ලබා දුන්නේය.

‘ස්වාමීනී, නවත්තලා තියෙන වාහනය වැරදි පැත්තෙන් ඉස්සර කිරීමට යෑමේදී වාහනය ගැටීමක් සිදුව තිබුණා. එම අවස්ථාවේදී මම අර්චුනා මහතාගේ වාහනේ දොරට තට්ටු කළ අවස්ථාවේ වාහනය දොර හැර මට ප්‍රචණ්ඩ ලෙස පහර දීමක් සිදු කළා. මගේ වාහනයට සිදුවූ හානිය පිළිබඳ සඳහන් කරන්න ගිය අවස්ථාවේ මට මෙහෙම පහර දීම සිදු කළේ. සුදුසු නීතියත් ක්‍රියාත්මක කරන්න’.

‘ස්වාමීනී, මම බිම වැටුණු පසුවත් දිගින් දිගටම මට පහරදීම සිදු කළා. එම නිසා මගේ උරහිසට හානි සිදුවෙලා තියෙනවා. ඒ සඳහා ශල්‍යකර්ම රාශියක් කරලා තියෙනවා’ යනුවෙන් පැමිණිල්කරු සාක්ෂි ලබා දෙමින් අධිකරණයට කරුණු දැක්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කරනු ලැබුවේ, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන කරන ලෙසත්, පැමිණිලිකරුට පහර දීම නිසා සිදුව ඇති හානිය අතිවිශාල බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහා දෙවැනි සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කළ අතර ඉදිරි නඩු විභාගය ලබන සැප්තැම්බර් 25 වැනි දා පවත්වන ලෙසට නියෝග කළේය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT