ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ ඇතුළු සහෝදරයන් සිවුදෙනාට එරෙහිව පනවා ඇති නඩුව නීතිපති උපදෙස් මත ලබන ඔක්තෝබර් මස 29 වැනි දින යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය ඊයේ (23) නියෝග කළාය.
සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.
නැසීගිය සෝමා එදිරිසිංහ මහත්මිය ඇතුළු දරුවන් සිවුදෙනා තැන්පත්කරුවන් 23,000කගේ පමණ මුදල් වංචා කරමින් දෙස් විදෙස් දේපොළ මිලදී ගෙන තම සුඛවිහරණය සඳහා යොදා ගෙන ඇති බව සිදු කළ විමර්ශන අනාවරණය කර ගෙන ඇත.
ඊ.ටී.අයි. සමාගම මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් වුවද නීති විරෝධී අයුරින් බිලියන 6.480ක්ද ස්වර්ණ මහල් ආයතනය ස්වර්ණාභරණ විකුණන මුවාවෙන් මුදල් උපයා නීති විරෝධී ගිණුමකට රුපියල් බිලියන 7.2ක් බැර කරගෙන ඇති බවත් මේ මුදල් බැර කරගෙන ඇත්තේ සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන සිව්දෙනා විවෘත අධිකරණයේ පෙනී සිටියහ.
සුභාෂිණී සේනානායක