ශ්‍රී ලාංකික අපට තනිව පාලනය කළ නොහැකි ලෝකයේ බලවත් රටවල බදු පැනවීම් ඇතුළු අනෙකුත් අභියෝග රාශියක් මැද පවා 2025දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5 (තුනයි දශම පහක) මධ්‍යස්ථ අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි.
වසර 2024දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, මුලින් ඇස්තමේන්තු කළ (පුරෝකථනය කළ) සියයට 4.4ට සාපේක්ෂව සියයට 5ක වර්ධනයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි.
මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් ක්‍රියාකාරිත්වය හේතු වී ඇති බව ද ලෝක බැංකුව සඳහන් කරයි.
ලෝක බැංකුව මඟින් ඊයේ (23) නිකුත් කළ ද්වි-වාර්ෂික ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන කිරීම වාර්තාවෙන් මේ බව සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක වර්ධනය සහ මූල්‍ය කාර්යසාධනය තිබියදීත් සැලකිය යුතු අභියෝග පවතින බව එම වාර්තාවේ ඉස්මතු කර පෙන්වා දී ඇත.
“ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී, බොහෝ ශ්‍රී ලාංකිකයෝ තවමත් අරගල කරමින් සිටිති. ගෘහ ආදායම්, රැකියා සහ සමස්ත සුබසාධනය තවමත් අර්බුදයට පෙර මට්ටම්වලට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර, දරිද්‍රතා අනුපාතය 2024දී සියයට 24.5ක් ලෙස භයානක ලෙස ඉහළ මට්ටමක පැවතිණි. ශ්‍රම වෙළෙඳපොළ දිගටම අරගල කරන අතර, විදේශයන්හි අවස්ථා සොයන විට විදේශගත වීම වැඩි වීමට හේතු වේ.” යැයි ද එහි සඳහන්ය.
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් – (තුනෙන් එකක් පමණ)- දරිද්‍රතාවයේ පවතී හෝ නැවත දරිද්‍රතාවට ඇදවැටීමේ අවදානමක සිටී,” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පැවසීය.
“මෙම යථා තත්ත්වයට පත්වීම සෑම කෙනකුටම, විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට රැකියා නිර්මාණය කරන සහ දුප්පතුන්ට සහාය වන ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කළ හැකියි” යැයි ද ඔහු සඳහන් කරයි.
වඩ වඩාත් අවිනිශ්චිත ගෝලීය පරිසරයක් මධ්‍යයේ මධ්‍යස්ථ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මත මධ්‍ය කාලීන වර්ධනය සහ දරිද්‍රතාව අඩු කිරීම රඳා පවතින බව වාර්තාව අවධාරණය කරයි.
වසර 2026දී ශ්‍රී ලංකාව සඳහා සියයට 3.1ක පමණ මධ්‍යස්ථ වර්ධනයක් ලෝක බැංකුව පුරෝකථනය කරයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට ප්‍රකෘතියෙන් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කිරීම සඳහා වෙළෙඳාම, ආයෝජනය, තරගකාරිත්වය සහ කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය ඇතුළු අනෙකුත් දේ වැඩිදියුණු කරන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් ඉහළ වර්ධන මාවතකට මාරුවීම අත්‍යවශ්‍ය වන බව ද එම වාර්තාවේ සඳහන්ය. ඉදිරිය දෙස බලන විට, සාර්ව මූල්‍ය හා මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම, තරගකාරිත්වය ඉහළ නැංවීම, ඵලදායිතාව වැඩි කිරීම සහ රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල අඛණ්ඩ අවශ්‍යතාව ලෝක බැංකුව අවධාරණය කරයි.
ජයසිරි මුණසිංහ